රුවන්වැලි නොහොත් ස්වර්ණමාලි මහ සෑ රදුන් ...

දස දහසක් සක්වාතලයන්ගෙන් සැදුම් ලත්, අපගේ චූලනිකා ලෝක ධාතුව තුළ, පරම පූජනිය මහා පින් කෙතක් ඇත්නම්, ඒ අපගේ උතුම් දම්දිව, අනුරපුර ශුද්ධ නගරයේ ශ්වේත වර්ණ පියුම් රාජයෙක් මෙන් වැඩ සිටින, අපගේ මහා මුණිවර තථාගත ලොව්තුරු බුදු පියාණන් වහන්ස්ගේ ද්‍රෝණයක් පමණ වූ අති පාරිශුද්ධ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ වසන, ස්වර්ණමාලි මහ සෑ රදුන් වහන්සේ හැර අන් පින් කෙතක් නොවේ.

අපගේ ගෞතම බුදු රජාණන් වහන්සේගේ සසුන තුළ ඉදිවූ විශාලතම චෛත්‍යය ලෙස කිරුළු දරන, ස්වර්ණමාලි මහ සෑ රදුන් වහන්සේ, අතීතයේ සිටම විවිධ නාමයන් කිහිපයක් මඟින් හඳුන්වනු ලබයි.

නමුත් වඩාත් ප්‍රකටම නාමය වන්නේ, රුවන්වැලි සෑය යන නාමයයි. නමුත් එම නාමය නිර්මාණය වී ඇත්තේ කෙසේදැයි විමසීමේදී යම් පරස්පරතාවන්ද දැකිය හැක.

මහ සෑ රදුන් ඉදි කරන්නට පෙරාතීතයේ එම ස්ථානයේ තිබී ඇත්තේ, විසල් රන් තෙළඹු ගසකි. දැවැන්ත අතු පතරින් ගැවැසි එම මහ රුකෙහි, ස්වර්ණමාලි නම් රූමත් රුක් දෙවඟනකගේ දෙව් විමානය තිබී ඇත.

මහරහතන් වහන්සේලාගේ උපදෙස් පරිදි, දුටු ගැමුණු මහ නිරිඳු, සෑයේ වැඩ කටයුතු ඇරඹිමට පෙර. මහ සෑය ඉදි කිරීමට වෙන් වූ භූමියේ පිහිටි එම රන් තෙළඹු ගස වෙත පෙරහරින් පැමිණ, ගස හැර යන ලෙස ස්වර්ණමාලි දෙව්ලියගෙන් ඉල්ලීමක් කරයි. නමුත් ඇය ඉන් ඉවත්ව යාමට එකඟ වන්නේ, බුදු රදුන් උදෙසා ඉදි කරන එම මහ සෑයට ඇයගේ නාමය තැබීමට, මහරජු පොරොන්දු වීමෙන් අනතුරුවයි.

මහ සෑයට ස්වර්ණමාලි මහ ස්ථූපය යන නාමය හිමිවන්නේ ඒ අනුව ය.

පසු කලෙක ස්වර්ණමාලි යන සංස්කෘත පදය, රන්මැලි ලෙස හෙළ වහරට එක් විය. ඒ අනුව මහ සෑ රදුන් රන්මැලි මහ වෙහෙර නම් විය.

නමුත් ඊටත් පසු කලෙක, රන්මැලි වෙනුවට රන්වැලි යන පදය එක්වී, ස්වර්ණමාලි මහ සෑය, රුවන්වැලි සෑය ලෙස හඳුවන්වන්නට යෙදිණ. අද පවා වැඩි දෙනා අතර ප්‍රචලිත නාමය වන්නේ එයයි.

නමුත් මහා වංශයට අනුව නම්, මහ සෑයට රුවන්වැලි සෑය යන නම් ලැබෙන්නටද හේතුවක් ඇත. තථාගත බුදු පියාණන් වහන්සේ තෙවැනි වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේ, මහ රහතන් වහන්සේලා පිරිවරා අනුරපුරට වැඩම කොට, අනාගතයේ ගෞතම බුදු සසුනේ මහ සෑය, මහ බෝධිය ඇතුළු පූජනීය අටමස්ථානය පිහිටන තැන් දිවැසින් බලා, පෙන්නුම් කළ බව පැවසේ. බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් පරිදි, එදා සිට එම විශේෂ ස්ථාන මෙරට රජදරුවන් විසින් මහත් ගෞරවාදරයෙන් යුක්තව ආරක්ෂා කළ අතර, එම සිද්ධාස්ථන එහි ඉදිවන තුරුම, එම තැන් රාජකීය උද්‍යාන ලෙස වෙන් කොට තැබූ බව මහා වංශයේ දක්වයි.

බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් පරිදි, අනාගත මහ සෑය ඉදිවන බිම් ප්‍රදේශය, පරම පූජනීය බිම්කඩක් වන නිසාම, එම ප්‍රදේශය රුවන්මළුව නමින් නම් කොට, පවත්වාගෙන ඒමට රජදරුවන් කටයුතු කළ බවද වැඩිදුරටත් පැවසෙයි. එම පුවතට අනුව, රුවන්මළුවේ ඉදි කළ මහ සෑය බැවින්ද, අමිල වූ පින් කෙත බැවින්ද, රුවන්වැලි සෑය යන නම, මහ සෑයට හිමිවන්නට ඇති බවද සිතිය හැකි ය.

සයිංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්නමාලීති පතිතනාමං
වන්දාමහං ථූපවරං මහඝ්ගං

- නලිඳු සැපත් -


Comments