මෑත කාලයේ ජනප්‍රිය නම් කිහිපයක් පිළිබඳ නිරුක්ති ......... 01


දිනපතාම අප වෙතින්, මව්පියන්, විවිධ නාමයන් පිළිබඳ අර්ථයන් විමසනු ලබයි. හැකි පමණින් ඒවාට පිළිතුරු ලබා දීමට අපිද උත්සුක වෙමු.


නමක් ගැන යමක් තුළින්, මෑත කාලයේ ජනප්‍රිය නම් කිහිපයක් පිළිබඳ අර්ථ නිරුක්ති කිරීමට අදහස් කළේ, එය බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් විය හැකි නිසා ය.

පසුගිය දිනක පිරිමි දරුවෙකුට තැබූ මහීස ................ නම් නාමයක් මා හට දක්නට ලැබිණ. නමක අර්ථයෙන් පුද්ගලයාගේ දෛවයට සෘජු බලපෑමක් එල්ල නොකළද, එදිනෙදා පැවැත්මට බලපෑමක් එල්ල කළ හැකි බව සත්‍යයකි. මහීස යන නමේ අර්ථය කුමක්ද ? මහීස යනු මීහරකාට නමකි. ගව මහීසාදීන් ලෙස බොහෝ විට පොතපතෙහි මි ගවයන් ගැන සඳහන් වේ. සකු බසින් මහීෂ ලෙසද වහරයි. එම නාමය දරුවෙකුට තැබීම කොතරම් උචිතදැයි විමසා බැලීම වටී.

රොවින් යනු තවත් එවැනිම නාමයකි. රොවින් යනු කුමක්ද ?  රොවින් යනු, රෝගයෙන් යන පාලි පදයෙහි හෙළ පදයයි. රොවින් (රෝග විඳින්නා) පෙළෙන්නා යනු රෝගයෙන් පෙළන්නා යනුයි. රොවින් යනුවෙන් නම් ලැබූ පමණින් යමෙකු රෝගාතුර නොවන බව සත්‍යයකි. රෝග ඇතිවන්නේ නම නිසා නොව, කර්ම විපාක හේතුවෙනි. නමුත් දහසකුත් එකක් අර්ථවත් සුන්දර නාමයන් පැවැතියදි, ශබ්ද රසය හෝ අක්ෂර පමණක් සලකා දරුවෙකුට එවැනි නාමයක් තැබීම බුද්ධිගෝචරදැයි විමසා බැලීම වටී.

එසේ වුවද, රො යන පදය සෑම නමකම ඉහත අර්ථය ගම්‍ය නොවේ. හිරු හැඳින්වීමටද රො යන පදය යෙදෙයි. රොයාන් යනු එම නිරුක්තියෙන් සෑදුණු නාමයකි. එහි අරුත බලවත් ගමන් ඇත්තා යනුයි.

රයලි යනු මෑතක ජනප්‍රිය වූ නාමයකි. ඉංග්‍රීසි උරුවක් ගත් මෙම නාමය සෑදි ඇති ආකාරය නිරුක්ති අනුව දැකිය හැකි ය. රය යන අසුරට නමකි. (වෛ යනු වෙන් කිරිමයි. රය යනු ඇසුරයි. ඇසුරින් වෙන් කරන චේතනාව වෛරයයි) ලි යනු ඇලුම් කිරීමයි. (රය + ලි). රයලි, ඇසුරට අැල්ම ඇත්තී යනුයි. රයල් / රයාල් යනු එහි පුරුෂවාචි පදයයි.

අනලි යනු තවත් එවැනිම නමකි. අන් + අලි යන පද එක්ව අනලි යන නාමය සෑදෙයි. අන් යනු නිෂේධනාර්ථයයි. අලි යනු අල්ලා ගැනීමයි. ඇලීමයි. තණ්හාවයි. අනලි යනු තණ්හාවෙන් වෙන් වීමයි. නොඇලීමයි. නොඅැලීම යනු නිවනට මාවතයි. එහි ඇත්තේ මහාර්ඝ බෞද්ධ අර්ථයකි.

සදිතු යනු වර්තමානයේ ජනප්‍රිය තවත් නාමයකි. සද් + ඉතු යන පද එක්ව එම නම සෑදෙයි. සද් යනු සත්පුරුෂ භාවයයි. යහපත් භාවයයි. ඉතු යනු ඉෂ්ට අරමුණු ඇත්තා යනුයි. සදිතු යනු සත්පුරුෂ ඉෂ්ට අරමුණ ඇත්තා යනුයි.

ටාලෙනා යනු බටහිර උරුව ගත් මෑත කාලයේ ජනප්‍රිය සිංහල නාමයකි. මෙහි අර්ථය වන්නේ තහවුරු වූ ලෙන්ගතු බව ඇත්තී යනුයි. ටානියා යනු බටහිර නමක් ලෙස බැලූ බැල්මට පෙනේ. නමුත් එය හෙළ නිරුක්තියකට අනුව සැකසුණකි. ටා + නියා යන්නෙහි අර්ථය ස්ථාවර වූ / තහවුරු වූ න්‍යාය (දහම් න්‍යාය) සමඟ බැඳෙන්නී යන්නයි. මෙම නාමයන් විදෙස් බසක වුවද ව්‍යවහාර විය හැකි ය. මන්දයත් සියලු මිනිස් භාෂාවන් බිහි වී ඇත්තේ, හැඟීම් ගති හඬ මුල් වීමෙන් නිසා, ඇතැම් මිනිස් හැඟීම් පැවසීමේදී විවිධ භාෂාවන් තුළ වුවද එකම ශබ්ද නිරුක්ති භාවිත විය හැකි ය.

බුදායා යනු මෑත කාලයේ තරමක් අසන්නට ලැබෙන නාමයකි. බුද්ධිය / අවබෝධය හා බැඳි සිටින්නී යන අරුත එහි වෙයි.

නෙතුකි යන නාමය මෑත කාලයේ අතිශයින් ජනප්‍රිය නාමයකි. නෙතුකි යන උතුම් නෙත් ඇත්තී යනුයි. එය එහි භාෂා නිරුක්තියයි. නමුත් නාමයක නියම අර්ථය වටහා ගැනීමට නම්, එහි පද නිරුක්තිය විමසා බැලිය යුතු ය. උතුම් නෙත් තුළින් ඇතිවන්නේ උතුම් දැක්මයි. නෙතින් සිදුවන්නේ දැකීමයි. නෙතින් දැකීම සහ නුවණින් දැකිම යනුවෙන් දැකීම දෙයාකාර වෙයි. මින් වඩාත් වැදගත් වන්නේ නුවණින් දැකීමයි. අතීතයේ සිටම ඉගෙනීම තුළින් දරුවන්ගේ නෙත් පැදීම පිළිබඳ ව්‍යවහාරයක් මිනිස් සමාජය තුළ පැවත එයි. මෙහි නෙත් පාදනවා යනු කුමක්ද ?  මෙහි නෙත් යනු මසැස නොව, මනැසයි. නුවණැසයි. අධ්‍යාපනය තුළින් සිදු වන්නේ දරුවන්ගේ නුවණැස පැදීමයි. නෙතුකි යනු එම පද නිරුක්තියෙන් ගත් කළ උතුම් නුවණක් ඇත්තී යනුයි.


- නලිඳු සැපත් -

Comments