මෑත කාලයේ ජනප්‍රිය හෙළ නම් කිහිපයක් පිළිබඳ නිරුක්ති ........... 03

පෙහන්සා යනු වර්තමානයේ තරමක් ප්‍රචලිතව ඇති නාමයකි. පෙහෙ + අන්සා යන පද එක්ව එම නාමය සෑදෙයි. පෙහෙ යනු පිරිසිදු භාවයයි. හෙළයෝ පොහෝ දින පෙහෙවස් සමාදන් වෙති. පෙහෙවස් යනු පිරිසිදු වාසයයි. කුමන පිරිසිදු භාවයද, සිත, කය, වචනය යන අංගත්‍රයෙහි පිරිසිදු භාවයයි. පොහොය යන පදය සෑදි ඇත්තේද පිරිසිදු වීම යන අරුතිනි. භික්ෂූන් වහන්සේලාට අායථ සංවරයේ පිහිටමින් පිරිසිදු වීමට වෙන් වූ දිනය පොහොය දිනයයි. පෙහන්සා යනු පිරිසිදු පැවැතුම් ඇත්තී යනුයි. පේවින් යනුවෙන්ද නාමයක්ද භාවිතයේ පවතී. මෙහිද පේ යනු පිරිසිදු වීමයි. හෙළයෝ ආගමික කාර්යයන්හීදී පේ වී එම කාර්යයන් සිදු කළහ. පේවී යන පිරිසිදු වී යන්නයි. එනම් ගතින් මෙන්ම, සිතින්ද පිරිසිදු වීමයි. වින් යනු විඳින්නායි, විඳ ගන්නයි. පේවින් යනු පිරිසිදු බව විඳින්නායි. යථෝක්ත අර්ථයෙන් ගත් විට මානසික පිරිසිදු බව විඳින්නායි.

දසිස් යනු පසුගිය යුගයේ වැඩි වශයෙන් අවධානය යොමු වූ නාමයකි. දස + ඉස් යන පද එක්ව එම නාමය සෑදෙයි. දස ඉස් යනු හිස් දහයක් ඇත්තා යනුයි. එහි යථෝක්ත අර්ථය නම්, දස ඥානයක් ඇත්තා යනුයි. පුරාවෘත්තයන්ට අනුව, මෙරට විසූ බලවත් රජකු වූ රාවණ රජුටද විවිධ විෂයන් පිළිබඳ දස ඥානයක් පැවතී ඇත. එමනිසා රාවණ රජුදට දසිස් යන නම වහරයි. දසිස් යන නාමය නුවණ, වික්‍රමය, බලය හඟවන අරුත්බර නාමයකි.

දිනෙව් යන නාමය වර්තමානයේ තරමක් ජනප්‍රියව පවතී. නුවණ දරන්නා යනු එහි අදහසයි. දිනලි යනු දියණියකට ඔබින නවතාලයේ නාමයකි. දින් + අලි යන පද එක්ව එම නාමය සෑදෙයි. ජය ඇලුම් කරන්නී යනු එහි අරුතයි. දිනක්ෂි යනුවෙන් නාමයක් ද වෙයි. දින් + අක්ෂි යන පද එක්ව එය සෑදි ඇත. ජයග්‍රාහී ඇස් ඇත්තී යනු එහි අරුතයි.

කුතුප යන නාමයද පසුගිය සමයේ අවධානයට ලක්වූ තවත් නාමයකි. කුත් + උප යන පද එක්ව එම නාමය සෑදෙයි. කෘතඥපූර්වක බව / කෘතෝපකාරි බව ඉන් ගම්‍ය වෙයි.

නිකී යනු ඉංග්‍රීසි නාමයක් යැයි කෙනෙකුට කිව හැක. විදෙස් තරුණියන් අතරද නිකී යන නාමය ප්‍රචලික බව සත්‍යයකි. නමුත් එහි හෙළ නිරුක්තියක්ද දැකිය හැක. නි + කී යන පදයන්ගේ අර්ථයන් විමසූ විට ඒ බව දැකිය හැක. නි යනු නැත යන අර්ථයයි. නැතහොත් නිවාරණය කිරීමයි. කී යනු කිළිටි දේයි. පාපයයි. ක්ලේෂයයි. නිකෙළෙස් / නොකිළිටි යන අර්ථය නිකී යන නාමය තුළ විද්‍යමාන වෙයි.

සාරා යනුද එවැනිම වූ නාමයකි. සාරා යන නාමය විදෙස් තරුණියන් අතර බහුලව ව්‍යාප්ත නාමයක් බව දැකිය හැක. එහිද වැදගත් හෙළ නිරුක්තයක් වෙයි. සාරා යන්නෙහි සෘජු අර්ථයම සාරත්වයයි. සත්වයාට සාරත්වය හිමි වන්නේ කුමකින්ද ? සාර යනු සතරයි. කුමන සතරද ?  අනන්ත සසරේ සිට නොලැබූ ඤාණ සතරයි. සත්වයාට සදාතනික සුවය ගෙන දෙන ඤාණ සතරයි. චතුරාර්ය සත්‍යය පිළිබඳ ඥාණ සතරයි. සාර (සාරත්වය) යන පදය බිහි වී ඇත්තේ එකී සතර යන නිරුක්ති අර්ථය මුල් කරගෙනයි.

නේවින්සා යන නාමයද දැන් දැන් වැඩි වශයෙන් අසන්නට ලැබේ. යහපත් නුවණ විඳීන්නී යන අරුත එහි වෙයි. නේජා යනු නුවණ ජනිත කරන්නී යන අරුතයි. නේතකී යනු නුවණ තනන්නී යනුයි.

පිරිමි දරුවන් වෙනුවෙන් සයුල් යනුවෙන් අලංකාර නාමයක් වෙයි. සයුල් යනු සුවය උපදවන්නා යන අරුතයි. සදිත යනු සද්භාවයට හිත ඇත්තා යන අර්ථය දෙන නමයි.

සනුජ යන නාමයද වර්තමානයේ බොහෝ විට අසන්නට ලැබෙයි. මෙහි භාෂා නිරුක්තිය මෙන්ම පද නිරුක්තියද විමසා බැලීම වටී. නාමයන් බිහිවන්නේ සම්මත භාෂා රීතින්ට අනුකූලවම නොවේ. නාමයකට සෑම විටම මුල් වන්නේ කිසියම් අදහසකි. එම අදහස සීමිත අක්ෂර ගණනකින් ප්‍රකාශයට පත් කිරීමේදී අකුරු කිහිපයක නාමයක් බිහි වෙයි. අක්ෂර මඟින් ප්‍රකාශයට පත් වන්නේ මිනිස් ගති හඞයි. ස + නු + ජ  ලෙසද මෙම නාමය අරුත් ගන්වනු දක්නට ඇත. ඊට අනුව මනා නුවණ ජනිත කරන්නා, යහපත් නුවණ ජය ගන්නා යන අරුත් ගම්‍ය වෙයි. නමුත් එහි නිරුක්ති අර්ථයද දැකිය මනා ය. සන් + උ + ජ යන පද එක්ව සනුජ යන නාමය සැදෙයි. උතුම් සන්තානයක් (සිතක්) ජනිත කරන්නා යන අරුත ඊට පැවසෙයි.

- නලිඳු සැපත් -


Comments

  1. "ස", "උ","ක" akuru walin Duwekta namak kiyannako.e nama kiyaddi eyata nirogi suwayakata ashirwadayak denawanam wadath hondai. Eya asaneepen inne. Ada dawasa athulath ewanawada? Pls help me.. 0774589593

    ReplyDelete

Post a Comment