
හෙළදිව තුළ විසූ අතීත හෙළයන් සහ බුදු දහම අතර පැවැති සමීප සබඳතාව නිසාම, එකල මව්පියන් සිය දරුවන්ට දහමට නැඹුරු නම් තබන්නට ඇත. හෙළදිවේ භාවිත වූ එවැනි නාමයන් කිහිපයක් විමසා බලමු. කාලයේ වැලි තලාවෙන් වැසී ගිය මහරු අරුත් ඇති, දෙලොව සැප සදන අාශිර්වාද අරුත් සහිත හෙළ නාමයන් නැවත මතු කරදීමට මෙම ලිපි පෙළ හේතුවනු ඇතැයි සිතමි.
හෙළයා බෞද්ධයෙකු විය. සිංහල බෞද්ධයා යනු නූතන ව්‍යවහාරයයි. හෙළයා බෞද්ධයෙකු වූයේ කෙසේද ..... බුදු දහම අසා අවිද්‍යාව හෙළි කර ගත් නිසා හෙළි වූ හෙළයා, රාග, ද්වේෂ, මෝහ ක්ෂය කරමින් නිර්වාණය කරා පිය මැන්නේ ය. ඒ නිසා ඔහු තුළ රාග බව, ද්වේෂ බව, මෝහ බව දුරු වී ගියේ ය. ධර්මය තුළින් බවය උදුරා දැමූවන් නිසා බව + උද්ධ, ව්‍යවාරයේදී බෞද්ධ විය. ගිහියෝද සැනසුම්දායක දහම් මඟෙහි පිය මැන්නෝ ය. හෙළ අරිහතුන් වහන්සේලා අර්ථ, ධර්ම, නිරුක්ති සහිතව බණ දෙසන විට, මුළු රටම හෙළි පෙහෙළි වී ගියේ ය. රටේ අවිදු අඳුර දුරු වී ගියේ ය. රජවරු, සිටුවරු පවා හිස් කාම සම්පත් අත්හැර ශාන්තිමත් පැවිදි බිමට පියමැන්නෝ ය.

රජවරු සිටුවරු පමණක් නොව, සාමාන්‍ය ගැමියෝද දහම් අවබෝධය ලැබුවෝ ය. ආර්ය භාවයට පත් වූවෝ ය. මනස හෙළි වූ, අවිද්‍යාව දුරු කරගත්, තණ්හව පහ කළ එම අතීත උතුම් හෙළ ගැමියෝ, ගොවිතැනේදී පවා සතා සිවුපාවුනට හිංසාවක් පීඩාවක් සිදු නොවන තැනට වග බලා ගත්තෝ ය. තමාට හරි හම්බ කර දෙන ගවයාට පවා ආදරයෙන් කරුණාවෙන් සංග්‍රහ කළෝ ය. ඔවුන්ගේද සුගතිය පැතුවෝ ය. නිරන්තර කුස ගින්නේ පසුවන අලි ඇතුන් හීලෑ කරගෙන, විහාරස්ථාන කරා ගෙනැවිත්, කන්නට බොන්නට දී නිකරුණේ ගෙවන අප්‍රමාණ කාය ශක්තියෙන් කුඩා වැඩක් දෙකක්ද ගෙන, මරණින් මත්තේ මෙම මහා තිරිසන් දුක්ඛයෙන් ගලවනු වස්, ඔවුන්ගේ සිත් පහදනු වස්, දහසක් මිනිසුන්ගේ සාදුකාර මධ්‍යයේ පූජනීය කරඬුව පිටමත වඩමවන්නට ඉඩ අවකාශ දුන්නෝ් ය. එම මහාර්ඝ පිනින් එම අසරණ සත්වයා එම භයානක තිරිසන් දුක්ඛයෙන් මීදි ගියේ ය.
එවැනි පසුබිමක් පැවැති හෙළ සමාජයක මෙවැනි හෙළ නම් භාවිත වීම පුදුමයට කරුණක් නොවේ. රාග බව, ද්වේෂ බව, මෝහ බව නැති කර දැමීම හෙවත් බව උදුරා දැමීම බෞද්ධයාගේ මූලික කාර්යය විය. එය බුද්ධං සරණං ගච්චාමි යනුවෙන් සමාදන් විය.

ධම්මානුදම්ම පටිපදාව තුළදි, සත්වයාගේ මනසේ පැවැතී රාග, ද්වේෂ, මෝහ ක්‍රම ක්‍රමයෙන් ගෙවී ක්ෂය වෙයි. එය සං ගෙවා හැරීමයි. සංඛාර (අභිසංඛාර) ගෙවා හැරීමයි. සංඝං සරණං ගච්චාමි යනුවෙන් එය සමාදන් විය.
"බුද්ධදාස" යනු පැරණි කල සමාජය තුළ බහුලව පැවති නාමයකි. නම නිසා ඇතැම් පුද්ගලයන්ට යම් ශික්ෂණයක් හිමි වූ අවස්ථාද අප දැක ඇත. අපගේ ගමේ බුද්ධදාස නම් එක් ගැමියෙකු විය. නමුත් මුල් කාලයේදී නමේ අර්ථය පරිදි ඔහු බුද්ධ රත්නය උදෙසා දාස කළකම් අයෙකු නම් නොවී ය. හැකි අවස්ථාවලදී නමේ අර්ථය කෙළෙසන වැඩ ද කළේ ය. නමුත් නම බුද්ධදාස නිසාම, කොතරම් ඕනෑ කළත්, කිසිදු අවස්ථාවක ඔහුට ප්‍රසිද්ධියේ ගමට අාසන්න ඇළේ මාළු බෑමට නොහැකි විය. කවුරුන් හෝ "අන්න බුද්ධාදාස මාළු බානවා" යන වදන පවසනවාට ඔහු ප්‍රිය නොකළේ ය. අවසානයේ එම යහපත් ගුණය විසින්ම ඔහුව එම භයානක පාප කර්මයෙන්ද සහමුලින්ම ගලවන්නට ඇත. පසුකාලයක ඔහු සියලු පවින් දුරු වූ යහපත් ජීවිතයක් ගෙවා යහපත් ලෙස මිය පරලොව ගියේ ය. බුද්ධසේන යනු තවත් එවැනි නාමයකි. බුදුන්ට ඇල්ම ඇත්තා යනු එහි අරුතයි. බුදුන්ගේ සේනාව හෙවත් සංඝ රත්නයට අයත් බව භාෂා පද අරුතයි. කිසිදු අවස්ථාවක "බුද්ධ" යන පදය සමඟ සුසංයෝග වී ස්ත්‍රී වාචි නාම බිහි වී නොමැත. එය විශේෂත්වයකි. ඇත්නම් ඒ එක් නාමයක් පමණි, එනම් මහාමායා දේවියට හිමි වූ බුද්ධමාතා නම් වූ ගෞරව පදවි නාමයයි. . (ඇතැම් තැනක මහා ප්‍රජාපති ගෝතමියටද එසේ වහරයි).
බුද්ධ යන නිරුක්තියෙන් උපන් බුද්ධිය යන පදය මුල් කරගෙන බිහි වු, බුද්ධිකා, බුද්ධික, බෝධිපාල,බෝධිරත්න, බෝධානි, බෝධිකා, බෝධි, බෝධිෂා, බුදාරා, බුදල්යා, වැනි නාමයන්ද දැකිය හැක.
ධර්මදාස දෙවනුව අසන්නට ලැබෙන හෙළ නාමයි. අනන්ත සසර සිට සත්වයා දාස කම් කරන්නේ පංචා කාමයටයි. කුස ජාතකයෙන් පෙන්වා දෙන්නේද එම කරුණයි. බෝධිසත්ව ගුණෝපිත මහ නුවණැති කුස රජු පවා, පංච කාම සම්පත්තිය උදෙසා, ස්ත්‍රියක් පාමුළ සත් වසරක් දාසකම් කළේ ය. ධර්මය අසා අවබෝධ කළ තැන් පටන් ඇත්තේ, ධර්මයට දාසකම් කිරීමයි. නැතහොත් දස අකුසලයෙන් වෙන්ව ධර්මය අනුවම කටයුතු කිරීමයි. එහි ඇති නිරුක්තිය එයයි.
ධර්මසේන, ධර්මපාල, ධර්මවීර, ධර්මවර්ධන, ධර්මසිංහ, ධර්මනායක, ධර්මසිරි, ධර්මදේව, ධර්මරාජ, ධර්මවංශ, ධර්මබුද්ධි, ධර්මවික්‍රම, ධර්මධීර, ධර්මසෝම, ධර්මේන්ද්‍ර, ධර්මරත්න යනාදි නාමයන් ධම්ම / ධර්ම යන පදය සමඟ සුසංයෝග වී නිර්මාණ වී ඇත.

එම අයුරින්ම සංඝ යන නිරුක්තිය මුල් වී නාමයන්ද දැකිය හැක. නමුත් එතරම් බහුල නොවේ. සංඝදාස, සංඝධීර, සංඝරාජ, සංඝමිත්තා යනු එවැනි නම් කිහිපයකි.
රත්නත්‍රයෙන් පසුව මුණ ගැසෙන්නේ කුසලයයි. කුණු / පහත් දේ හෙවත් කෙළෙස් සලා හරින බැවින් කුසලය යැයි කියති. සං ගෙවා හැරීම යනු කුසලයයි.
කුසලහාමි යනුවෙන් පැරණි නාමයක් වෙයි. කුසලය හා අමෘතය හෙවත් නිවන සමඟ හා වී සිටි බැවින් කුසලහාමි විය. පසුව කුසල යන්න නොමැතිව, හාමි යන පදය පමණක් වෙනත් නාමයන් හා ඈඳා පවසන්නටද වූහ.
කුසලවංශ, කුසලධම්ම, කුසල්ජා, කුසලා, කුසලාවතී, කුසල්යා, කෝසල, කුසලධීර, කුසලවර්ධන වැනි නාමයන් අදටද ව්‍යවහාරයේ දැකිය හැක.
කුසලය මෙන්ම, පින යන නිරුක්තිය මුල් කරගෙනද, විවිධ හෙළ නාම බිහි විය. පිංහාමි ප්‍රකට පැරණි නාමයකි. පින හා අමෘතය හා වූ තැනැත්තා යන අරුත් එහි වෙයි. පුඤ්ඤදාස, පුඤ්ඤසෝම, පුණ්‍යවතී, පුණ්‍යවර්ධන, පුණ්‍යවංශ, පුණ්‍යවීර, පුණ්‍යසාගර, පුණ්‍යජිත්, පුණ්‍යා, පුණ්ණා, පුණ්‍යසිරි, පුණ්‍යදාස වැනි නාමයන් ඒ අතර වේ.

උක්ත තුන් පියවර අනුගමනය කරන ආර්යයා තුළ, ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය, චක්ඛු සම්පස්සය, චක්ඛු සම්පස්සජා වේදනා යනාදි වශයෙන්, කණ, නාසය, දිව, ශරිරය, මනස යන ඉන්ද්‍රියන්ද මුල් කරගත් තිස් පොළ ඇසුරු කරගෙන සිදුවන අභිසංඛාර ගොඩ නැංවීමේ ක්‍රියාවලිය නිරෝධ වෙයි. මනස සහ ලෝකය අතර පටිච්ච වීමේ ක්‍රියාවලිය නිරෝධ වෙයි. භව නිරෝධ වෙයි. දුක අවසන් වෙයි. තිස් පොළ සලා හැරීම තිස් + ස නම් වෙයි. තිස්ස නාමය හෙළ නාමයන් අතර බහුලව භාවිත වූහ. බුදු රජාණන් වහන්සේ හෙළ දිවට වැඩම කළ දින සිට තිස්සලා මෙහි බිහි වූහ. දේවානම්පියතිස්ස, සද්ධාතිස්ස, සංඝතිස්ස, ධම්මතිස්ස, අභයතිස්ස වැනි නම් ඒ අනුව දැකිය හැක.

හෙළි වූ හෙළයා සීලවන්තයෙකු විය. එමනිසා සීලය යන අර්ථයද සිය නාමයට එක්කරගත්හ. සීලවතී, සීලනායක, සීලදාස, සීලරත්න, සීලවර්ධන, සිල්නියා, සීලා වැනි නම්ද, සීලයෙන් වැඩී වර්ධනය වූ විට සුසිලා, සුසිල්, සුසිල, සුසිලවංශ, සුසිලනාග වැනි නම්ද භාවිතයට ආහ.
සීලයෙන් පිරිපුන් වූ ආර්ය බ්‍රහ්ම විහාරයේ හැසිරෙන හෙළයන් තුළ සතර බ්‍රහ්ම විහරණයද නොඅඩුව වර්ධනය විය.එහි ප්‍රතිඵලයක් ලෙස, මෛත්‍රී, මෛත්‍රිපාල, ආර්යමෛත්‍රී, මෙත්තසේන, මෛත්‍රීරත්න, මෙත්තාවතී, මෙත්සිරි, මෙත්සර, මෙත්තානි, මිත්‍රපාල, මිත්‍රනායක, මෙතුම්, මෙත්මි වැනි නාමයන්ද, කරුණාපාල, කරුණාවංශ, කරුණාරත්න, කරුණවීර, කරුණාදාස, කරුණාධීර, කරුණා, කරුණාවතී වැනි නාමයන්ද, මුදිතා, මුදිතාරත්න, මුදිත, මුදිත්මා වැනි නාමයන්ද, උපේක්ෂා, උ
පේඛා, උපේඛ වැනි නාමයන්ද හෙළ නම් ගොත් අතරට එක්වූහ.
හෙළයෝ හිංසාවෙන්ද තොර වූහ. එමනිසා, අහිංසා, අහිංසක, නිරෝෂා, නිහින්සා වැනි නාමයන්ටද තැනක් හිමි විය. සංඛාර නිරෝධ කරමින්, රාග, ද්වේෂ, මෝහ නිවන ආර්ය මාර්ගය ගමන් කළ නිසා, සමාධියද / සමවත් සුවයද උරුම විය. සමාධි, ධ්‍යාන්සා, භාවනා, සමන්, සමන්තා, සමායා, සමන්ත වැනි නාමයන්ද ඒ නිසා හේතුඵල වශයෙන් භාවිතයට එක් විය.
සීලයෙන්, සංවරයෙන් යුක්ත හෙළයා තුළ සම්මා ඤාණ වර්ධනය විය. බුදු රජාණන් වහන්සේට 83 ක් විශේෂ ඤාණ විය (දස අසාධරණ ඤාණ සහ තෙසැත්තා ඤාණ), රහතන් වහන්සේටද ත්‍රිවිද්‍යා හෙවත් ත්‍රිවිධ ඤාණ, පටිසම්භිදා ඤාණ හිිමි විය. අාර්යයන්ටද යම් යම් ලෝකෝත්තර ඥාණ හිමි විය. ඒ අනුව ඥාන / ඤාණ යන පදයද හෙළ නම් ගොත් හා සුංසයෝග විය. ඤාණාලෝක, ඥානවංශ, ඥානවර්ධන, ඥානවතී, ඥානතිලකා, ඥානපාල, ඥානසිංහ, ඥානවීර, ඥානා, ඥානසෝම වැනි නාමයන් ඊට නිදසුන් ය.

බුද්ධ, ධම්ම, සංඝ, නිවන වැනි අර්ථයන් හා සමීප තේරුම් සහිත නාමයන් තම දරුවාට තැබීමට වර්තමානයේ ඇතැම් මව්පියෝ බිය වෙති. එය කාගේ හෝ මිථ්‍යා මතයක් නිසා ඇති වූ හේතු විරහිත බියක් බව, ඉහත හෙළ නම් ගොත් දෙස බැලීමේදී පැහැදිලි වනු ඇත. දරුවෙකුට එවැනි හෙළ නමකින් සැලසෙන යහපත, ආශිර්වාදය කොපමණදැයි කිව නොහැක. මේ බියකරු සසර තුළ ධර්මය, නිවන මොහොතක් හෝ සිහි කළද එහි ආනිසංස නිමක් නැති බව බුදු හිමියන් පෙන්වා දුන් සත්‍යයයි.

- නලිඳු සැපත් -
Comments
Post a Comment