බුදු සසුන හා හෙළදිව සමඟ බැඳුණු වැදගත් නාම නිරුක්ති කිහිපයක් .....

බුුදු සමය හා ලංකාව අතර ඇත්තේ අවියෝජනීය වූ බැඳීමකි. වර්තමානයේ ශ්‍රී ලංකාව ලෙස හැඳින්වුවද,
අතීතයේ මේ උතුම් පින්බිම හඳුන්වා ඇත්තේ හෙළදිව ලෙසයි.

හෙළයන් විසූ බැවින් මෙය එදා හෙළදිව විය. හෙළි වූ මනස් ඇත්තවුන් බැවින් හෙළයෝ වූහ. කෙසේ හෙළි වූවෝද .... නිර්මල බුදු දහම අසා අවබෝධ කොට, අවිද්‍යාව හෙළි කොට යථාර්ථය පසක් කර ගත් මිනිස් ප්‍රජාවක් එදා මෙහි විසූ නිසා, හෙළි වූ ජාතියක් වෙසෙන ද්වීපය යන අරුතින්, හෙළ ද්වීපය නම් ලැබී ය.

බුදු දහමින් හෙළි වූ හෙළයන්, ගුණයෙන් පූර්ණත්වයට පත් විට, ශ්‍රේෂ්ඨ හෙළයන් විය. හෙවත්, සීහ හෙළ විය. සීහ යනු ශ්‍රේෂ්ඨ යන්නයි. (චක්කවත්ති සීහනාද - චක්‍රවර්ති ශ්‍රේෂ්ඨ නාදය). ශාක්‍ය සීහ, ශ්‍රේෂ්ඨත්වයට පත් ශාක්‍යයා යන අරුතින් බුදු පියාණන් වහන්සේට පැවසූ නමකි. (සීහ යන පදය සිංහ ලෙස වරදවා පරිවර්තනය කළ අවස්ථාද පොතපතේ ඇත.)  සීහ + හෙළය පසු කලෙක සී + හෙළ බවට පත්ව, සීහල / සිහල ලෙස ව්‍යවහාරයට පැමිණියේ ය. මෙරට මහ රහතන් වහන්සේලා දහස් ගණනින් වැඩ සිටි සමයේ, මේ උතුම් පින්බම ශ්‍රේෂ්ඨ මිනිසුන් වෙසෙන දේශයක් ලෙස ලොවම පිළිගෙන ඇත. ඒ වගට සාක්ෂි ඕනෑ තරම් අද ද ඉතිරිව ඇත. බුදු දහම නිසා ශ්‍රේෂ්ඨත්වයට පත් හෙළය හෙවත් සීහෙළය, සතුරු ආක්‍රමණ ඇතුළු විවිධ සමාජ පරිවර්තනයන්ගෙන් අනතුරුව, සිංහලය ලෙස විපරිණාමය විය.

හෙළබිම විසූවෝ බෞද්ධ නම් විය. ධර්මය අවබෝධ කොට, අවිද්‍යා - තණ්හා නසා, බව උදුරා දැමූවන් (බව + උද්ධ) නිසා බෞද්ධ නම් ලැබී ය. ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පත්ව, ආර්ය මාර්ගය වඩන්නන් වූ බැවින්, ආරිය සීහෙළ හෙවත්, ආරිය සිංහල විය.

බෞද්ධයන් නිතර බණ ඇසී ය. බවය නසන අයුරු පෙන්වා දුන් දෙසුම් නිසා, ඒවා බණ නම් විය. බණ දෙසුවෝ, භික්ෂූහු වුහ. භවය බිඳ, ක්ෂය කර දැමීමට වැර දරන්නන් නිසා, භික්ෂු (භික්ඛු) නම් ලැබී ය. ධර්මාවබෝධය ලබා සං හෙවත් රාග, ද්වේෂ, මෝහ සංඛාර ගෙවා (සං ගෙවා හැරීමට) හැරීමට කටයුතු කරන පිරිසක් නිසා, සංඝ නම් විය.

- නලිඳු සැපත් -

Comments