ග්‍රෙගරි ගිරිගෝරිස් වූ හැටි ............ ( හෙළ නාම පුරාණය)

නම යනු සියලූ මනුෂ්‍යයන්ගේ ජීවන පථය හා බැඳී පවතිනන්කි. පුද්ගලයෙකුව හැඳින්වීම සඳහා අවශ්‍ය කරන අත්‍යවශ්‍යම අංගය වන්නේ ඔහුගේ හෝ ඇයගේ නාමයයි.

රූපං ජීරති මච්ඡානං  - නාම ගොත්තං නජීරතී යනුවෙන් ලොව්තුරු බුදු රජාණන් වහන්සේ දේශනා කොට ඇත. එහි අදහස, රූපය දිරා යයි. නාම ගෝත‍්‍රය නොදිරයි. මෙහි නාම ගෝත‍්‍රය යනුවෙන් අදහස් වන්නේ, පුද්ගලයෙකුට ලෝකය තුළ ව්‍යවහාර වන නාමයයි. නාමය නොදිරන්නක් වී ඇත්තේ එය සමස්ත මිනිස් විඥානස්කන්ධය තුළින් ඉදිරියට පැවත යන්නක් නිසා ය.

යමෙකු හොඳ කළත් නරක කළත්, මරණයෙන් පසුව ඔහුගේ හෝ ඇයගේ නාමය ලොව  පවතී. නමුත් ගැටළුව නම්, එම නාමය කෙරෙහි ලෝකයා දක්වන ප‍්‍රතිචාරය කුමක්ද යන්නයි. ඇතැම් නාමයන් සිහිකර වන්දනාමාන කරන ඇතැමෙක්, ඇතැම් නාමයන් සිහිකර දෙස් දෙවොල් දෙති.

එදාමෙදාතුර මෙලොව උපන් සෑම මනුෂ්‍යයෙකුටම කුමක් හෝ නාමයක් තිබී ඇත. ඉතිහාසඥයන්ට අනුව ශිලා යුගයේදී මිනිසුන් එකිනෙකා හඳුන්වාගෙන ඇත්තේ, තම තමන්ට ආවේණික වූ විශේෂිත ශබ්දයක් මාර්ගයෙනි. පසුකල් යත්ම එම ශබ්ද වචන බවට පත් වූ අතර, පසුව ඒවා නම් වශයෙන් ව්‍යවහාර වන්නට විය.

ශ‍්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය හාරා අවුස්සන්නෙකුට, අනුරාධපුර යුගයේ සිට මෙරට ජනයා භාවිත කළ නම්ගොත් සහ කාලෙන් කාලයට සිදු වූ විවිධ සමාජ පරිවර්තන නිසා ඊට සාපේක්ෂව එකී නාමයන් වෙනත් හැඩතල හා රූප ගත් ආකාරය සහ නාමයන්ගේ සිදුවූ පරිණාමය හොඳින් දැකගත හැක. නමුත් මෙරට අලිඛිත ඉතිහාසය, එනම්, ක‍්‍රි.පූ තුන්වන සියවසට පෙර යුගය ජනප‍්‍රවාදයන් ඔස්සේ විමසා බලන්නෙකුට, ශ‍්‍රී ලංකාවේ ඉපැරණි අතීතය තුළ භාවිත වූ පුද්ගල නාමයන් ගැනද යම් පමණකට අධ්‍යයනයක් සිදු කළ හැක.

මෙරට ස්වදේශීක රාජ පරජුර ගැන සෙවීමේදී, එකල භාවිත වූ පුද්ගල නාම පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත හැක. ශ‍්‍රී ලාංකික ස්වදේශික ඉතිහාසයේ සොයා යා හැකි උපරිම දුර වන්නේ, මෙරට පාලනය කළා යැයි සැලකෙන මනු නම් රජුගේ රාජ සමය දක්වායි. බෝධිවංශයට අනුව එම මහා සම්මත මනු රජුගෙන් පැවතෙන හෙළ ස්වදේශික රජ පරපුරේ ආරම්භකයා වන්නේ මහා සම්මත මනු රජතුමා ය.මනු රජුගෙන් පැවත එන රජ පරපුර දෙස බැලීමේදී, ඉපැරණි හෙළයන්ගේ නම්ගොත් භාවිතය පිළිබඳ යම් අදහසක් ලබාගත හැකි ය.රෝජ, වරරෝජ, කල්‍යාණ, උපෝසථ, උපවර, චේතිය, මහා මූවල යනාදි ගාම්භීර පෙනුමෙන් යුතු නාමයන් රැුසක් මනු රජ පෙළපත තුළ හමුවේ. 

ඉරණීය, සුමාලි, සුකේශ, පුලස්ති, මාල්‍යවන්ත, වාසුතෛ, වජ‍්‍රමුෂ්ටි, මණිග‍්‍රීව, හරන්, මාරිච යනාදි අභිමානය හා ගර්වය මුසු සංස්කෘත ආභාසයෙන් යුතු අතීත හෙළ නාමයන් හමුවන්නේ, රාවණ රජ පෙළපතේ ආරම්භය සොය යන්නෙකුට ය. 

ඉන්පසු ලිඛිත ඉතිහාසය ඇරඹෙන විජයාවතරණයෙන් පසු යුගය පරික්ෂා කිරීමේදී, කුවේණි, ජීවභත්ත, ලංකාපුර, ජෝතිය, සෝජාත, පරුමුඛ, රෝහණ, කුම්භිලා, උපතිස්ස, පණ්ඩුක, අභය, චිත‍්‍රා, ස්වරණපාලි, අනුරාධ, පණ්ඩුල, සුමිත්ත, සිංහපුර, පාලි, තිස්ස, චිත්තරාජ, ගාමිණි වැනි යම් රාජ්‍යත්වය, පාලනය පිළිබඳ යම් නිරුක්තියක් ඇති අතීත නාමයන් රාශියක් දැකගත හැක. ඇත්තෙන්ම මින් ඇතැම් නාමයන් ඉන්දියානු සංක‍්‍රමණ හා ආක‍්‍රමණ හරහා මෙරට ජන විඥානය තුළ සංස්කෘතිකාරෝපණය වූ නම්ගොත් ය.  

ඉනික්බිති අනුරාධපුර යුගයෙන් පසු ඇරඹෙන සිංහල රාජවංශයේ නම්ගොත් පරික්ෂා කිරීමෙන්ද, කාලීන සමාජ පරිවර්තනයන්ට සාපේක්ෂව, වෙනස්කම්වලට බඳුන් වෙමින් භාවිත වූ පැරණි හෙළ නාමයන් දැකිය හැක.

මුටසිව, දේවානම්පිය තිස්ස, මහානාග, අනුලා, ලීලාවති, යටාලතිස්ස, ගෝඨාභය, අග‍්‍රබෝධි, භාතිකාභය, සංඝබෝධි, මහාදාඨික, චූලාභය, සිරිනාග, මහානාම, පරාක‍්‍රමබාහු, විජයබාහු, නිශ්ශංකමල්ල, සද්ධාතිස්ස, වික‍්‍රමබාහු, සහස්සමල්ල, කාවන්තිස්ස වැනි නාමයන් අනුරාධපුර පොළොන්නරු රාජ සමය තුළද, බුනෙකබාහු, පරාක‍්‍රමබාහු, වීරබාහු වැනි නම් යාපහුව, දඹදෙණිය, ගම්පොළ යුගවලද දැක ගත හැක. එම නාමයන් තුළ දැකිය ප‍්‍රධාන ලක්ෂණ වන්නේ, බුදුදහමෙන් ලැබුණු සංස්කෘතික ශික්ෂණය සහ රණකාමීත්වය හා වික‍්‍රම වීරත්වය පිළිබඳ අදහසයි. මහනුවර රාජසමය දක්වාම රාජ පෙළපත සම්බන්ධයෙන් මෙම තත්වය දක්නට ඇත. නමුත් 1505 න් පසුව මෙම තත්වය යම් පමණකට වෙනස් වූ බව වටහාගැනීමට ඕනෑතරම් සාක්ෂි සාධක ලිඛිත මුලාශ‍්‍ර තුළින්ම සොයාගත හැක. 
ක‍්‍රි.ව. 1505 වසරේදී සිදුවන පෘතුගීසි ආගමනයත් සමඟ මෙරට සමස්ත ජන ජීවිතයට අති  මහත් බලපෑමක් එල්ල වූ බව නොරහසකි. එහිදී හෙළ නාමයන්ටද දැඩි බලපෑමක් එල්ල වූ ආකාරය, 1551 දී කොට්ටේ රජ වූ ධර්මපාල කුමරු, රජවීමට පෙර දොන් ජුවාන් ධර්මපාල පෙරිය බණ්ඩාර යන නමින් අභිෂේකවීමේ සිදුවීමෙන්ම පෙනී යයි. පෘතුගීසින් වෙතින් රටේ රජුට එතරම් බලපෑමක් ඇතිවූවා නම් රටවැසියන්ට කෙබඳු බලපෑමක් ඇති වන්නට ඇත්දැයි අනුමාන කළ හැකි ය.

පෘතුගීසි පමණක් නොව, ලන්දේසී හා ඉංගී‍්‍රසි යන පාලන වකවානු තුළද, මෙරට වැසියන්ගේ ජීවන රටාව මෙන්ම නම්ගොත්ද, කාලයට සාපේක්ෂව විවිධ පරිවර්තනයන්ට හසුවූ බව දැකිය හැක. පසුගිය ශතවර්ෂ දෙකකට ආසන්න කාලය තුළ මතුවී ආ විවිධ සාමාජීය හා දේශපාලනික හේතු නිසා, මෙරට ජන විඥානයේ සිදු වූ විවිධ පරිවර්තනයන්ට අනුකූලව, පුද්ගල නම්ගොත් භාවිතයේ සිදු වූ වෙනස්කම්වලට නිදසුන් ඕනෑතරම් සපයා ගත හැක.  

සියාතු, මල්හාමි, හින්නිහාමි,  බාලඅප්පුහාමි, කළු බණ්ඩා, ජයසේන, රන් එතනා, සිරිහාමි, එතනාහාමි, මැණිකා, කමලිනි, සුගුණපාල, සේතුහාමි, හින්නිඅප්පු වැනි ආරිය සිංහල නාමයන් වෙනුවට, මුල් යුගයේදී පෘතුගීසි, ලන්දේසී ආභාසය ඇති බාරෝන්, පොඩි සිංඤෝ, ජේමිස්, ඇක්මන්, දාවිත්, රේඩින්, හැන්ඩි, ජෝන්, සිසිලියානා වැනි නාමයන්ද, ඊට පසු යුගයේදී සිරිපාල, ගුණපාල, සීලවති,ගුණවති,කරුණාවති, සිරිසේන, පියදාස, ගුණදාස, පේ‍්‍රමවතී, ලීලා යනාදි නාමයන් වෙනුවට, වෙනුවට, ජොසපින්, රොසලින්, කැතරින්, ඬේවිඞ්, අයිවන්, ඩික්මන්, වොලී, ඩික්සන්, වයලට්, බියටි‍්‍රස්, වික්ටර් වැනි නා්මයන්ද සිංහල නාමයන් අතරම එහා මෙහා දෝලනය වෙමින් භාවිත වූහ. 

නම්ගොත් පිළිබඳ ඉහත කී සංක‍්‍රාන්ති සමය තුළ, සිංහලයන්ට පටබඳින ලද ඉංග‍්‍රීසි නාමයන් සිංහල උරුවට ව්‍යවහාර කළ අවස්ථා ගැනද රසවත් නිදසුන් හමුවේ. එකල ග්‍රෙගරි යනුවෙන් ඉංග‍්‍රීසි නම් ලැබූ සිංහලයෙක් වී නම්, නිසැකවම හේ සිංහලයන් අතරදී ගිරිගෝරිස් වූයේ ය. සකස්කඩයෙන් දුරස් වූ සිංහල - බටහිර අනුගාමි සංක්‍රාන්තික පරපුරේ පරිණාමීය සිංහලයාගේ උච්ඡුාරණ දෝෂ ඊට මුල් විය. බ‍්‍රමුපි - බුරම්පි ලෙසද, ඇලෙක්සැන්ඩර් - අලිසන්දර ලෙසද, ඇන්ඩර්සන් - අන්දරේ ලෙසද, ජේම්ස් - ජේමිස් ලෙසද, ජෝන් - ජුවාන් ලෙසද, චාර්ල්ස් - චාලි හෝ චාර්ලිස් ලෙසද, ඔව්හූ වැහරූහ. 

විදෙස් ආක‍්‍රමණ නිසා, මෙරට නම්ගොත් අතරට එක් වූ ජනප‍්‍රිය වාසගම් රැසක්ද දක්නට හැක. සිල්වා, ප‍්‍රනාන්දු, පෙරේරා, ෆර්ඩිනැන්ඩු, කොස්තා, ලැනරෝල් ආදි වාසගම් එසේ සිංහලයට එක් වී ඇත්තේ පෘතුගීසි හා ලන්දේසී භාෂාවන්ගෙනි.

මහා සම්මත මනු රජ දවස සිට, මේ කුඩා දීපය තුළ සිදු වූ විවිධ සමාජ විපර්යාසයන්ට සාපේක්ෂව, තත්කාලීන සමාජයේ දිවි ගෙවූ මිනිසුන්ගේ නාම් ගොත්ද විවිධ පරිණාමයන්ට ලක් වන්නට ඇති බව සත්‍යයකි.

ලංකාද්වීපයේ ඉතිහාසය පිළිබඳ මෑත කාලීන ලිඛිත සාක්ෂි පරික්ෂා කිරීමේදී පවා පෙනී යන්නේ, යුග පරිවර්තනයන්ට අනුව මිනිසුන්ගේ නාමයන්ද විවිධ පරිවර්තනයන්ට ලක්ව ඇති ආකාරයයි. කෙසේ වුවද, මුල් අතීත හෙළයන්ගේ නාමයන් නිර්මාණය වී පැවැතියේ හෙළ බසින් බවට අමුතුවෙන් සාධක වුවමනා නැත. හෙළි වූ බස හෙවත්, බුදු දහම නිසා ආලෝකයටත් පත්, ශ්‍රේෂ්ඨත්වයට පත් සිහල බසින් බිහි වූ නාමයන්, හුදු ශබ්දාර්ථයට පමණක් සීමා වූ නාමයන් නොවූ බව පැහැදිලි ය. එම නාමයන් තුළ දහමට සම්බන්ධ කිසියම් අර්ථ නිරුක්තියක් ඇතුළත් විය. නමුත් කල් යාමේදී දහමින් ඈත්ව සංකර සමාජ රටාවකට හුරු වූ හෙළයාට, තවදුරටත් දහම් අරුත් සහිත නාමයන් ගෝචර නොවන තැන, විදේශීය නම් ගොත් භාවිත වීම හේතුඵල වශයෙන් සිදු විය. 

පුරාණ හෙළ නම්ගොත් සම්බන්ධයෙන් තවත් කරුණක් පැහැදිලි ය. මෙරට මුල් යුගයේදී නම් තැබීම සිදු කර ඇත්තේ, පුද්ගලයාගේ හැඩරුව, දෛවයේ ලක්ෂණ, ප්‍රෞඪත්වය, අභිමානය, දේශීයත්වය යනාදි සියලූ සාධක සැලකිල්ලට ගෙන ය. එමඟින් පුද්ගලයාගේ චරිතය හා අධ්‍යාත්මය විවරණය කිරීමක් සිදු විය.

නමුත් කල්යත්ම එම සම්ප‍්‍රදායන් බිඳ වැටීමෙන් පසු, කාලයත් සමඟ සීග‍්‍රයෙන් විපරිණාමය වූ ලාංකික       සමාජ සන්දර්භය තුළ, ඒ ඒ කාලයට උචිත අන්දමින් පුද්ගල නම්ගොත්  ගොඩ නැඟුණු බව පෙනේ. 
වර්තමාන සිංහල සමාජය තුළ භාවිත වන නාමයන් සහ ඉදිරි පරම්පරාව සතුවන නාමයන් දෙස බැලීමේදී පෙනී යන්නේ, හට ගෙන තිබෙන ගෝලීය අධි පාරිභෝජනවාදි සමාජ රටාව තුළ, පුද්ගල නම්ගොත්ද උග‍්‍ර ලෙස ලිබරල්කරණය වී ඇති බවයි. 

- නලිඳු සැපත් -






Comments