රාවණ පරපුර .........

රාවන රජු පිළිබඳ වෙනදාටත් වැඩි නැඹුරුවක් මේ වන විට රට තුළ දක්නට ලැබේ. සැබෑ හෙළ ඉතිහාසය සොයායන්නවුහු, රාවණ රජු සහ පිරිවර පිළිබඳ වැඩි වශයෙන් කතා කරති.

රාවන රජුගේ නාමය පිළිබඳ විවිධ මත පවතී. රාවන් යනුවෙන් එය වහරනු ලබයි. රා + වන යන පද එක්වීමෙන් මෙම නාමය සැකසී ඇත. රා යනු හිරුට නමකි. බලයට නමකි. වන යනු අයත් වන්නායි. නැතහොත් උපදවන්නායි. රාවන යනු හිරුට අයත් වන්නායි. නැතහොත් හිරු උපද්දන්නායි. රාවන රජු ප්‍රබල සූර්ය වංශික රජෙකි. එසේම රාවන රජුට සෑමවිටම උපකාර කළ ශිව දෙවියන්ද නියෝජනය කරන්නේ සූර්යයායි. රාවණ රජුට දසිස් යන නාමයද පැවසෙයි. දසිස් යනු, හිස් දහයක් ඇත්තා යන භාෂගත අර්ථයයි. නමුත් එහි අර්ථ නිරුක්තියට අනුව, හිස් දහයක් යනු, දස බලයි. දස ඤාණයි.

රාවන රජුගේ සොහොයුරු විභිෂණ යි. භිෂණයෙන් / බියෙන් වෙන් කරන්නා යන අරුතක් එහි වෙයි. රාම - රාවණ යුද්ධයට කැමැති නොවූ විභිෂණ කුමරු ධාර්මික පැවැතුම් ඇති අයෙකු බව පැවසෙයි. පසු කලෙක හෙතෙම මිනිසුන් අතර දේවත්වයටද පත්වෙයි.

රාවණ රජුගේ බිසව මන්දෝදරි යී. සිහින් වූ උදරයක් ඇත්තී (මන්ද + උදරි) යනු එම නාමයේ අරුතයි.  එම නාමය ඇයගේ රූප ස්වභාවය අනුව පසුව ව්‍යවහාරයට පැමිණි නාමයක් යැයි සිතිය හැකි ය.

රාවණ රජුගේ නැගණිය වන්නේ සුර්පනඛායි. ඇතැම් පොත්වල ඇයගේ නාමය දක්වා ඇත්තේ සුපර්නිකා ලෙසයි. නමුත්, නාමයේ නිරුක්ති අර්ථය ගෙන බැලූවිට නිවැරැදි නාමය තෝරා ගත හැක. සුපර්නිකා යන නාමය පද නිරුක්තියෙන් විග්‍රහ කළ නොහැක. නමුත් සුර්පනඛා යන නාමය විග්‍රහ කළ හැක.

සුර්ප + නඛා, මෙහි සුර්ප යනු අලංකාර යන්නයි. නඛා යනු නිය යි (නියපොතු). එහි අරුතින් අලංකාර වූ නිය ඇත්තී යන අදහස ගම්‍ය වෙයි. බලවන්ත අහංකාර රැජිණක් වූ සුර්පනඛා, අලංකාරය පිණිස දෑතේ නිය වැවූ බව පත පොතෙහිද සඳහන් වෙයි. එම නාමයද ඇයට පසුව පටබැඳි නාමයක් බව සිතිය හැක.

රාවණ රජුගේ පුත්‍රයා වන්නේ, මේඝනාද යි.  මේඝනාද (මේඝ + නාද) නාමයේ පැහැදිලිව ඇත්තේ භාෂා අර්ථයකි. එයද පසුව ඔහුට පටබැඳුණු නාමයක් යැයි සිතන්නට කරුණු ඇත.

රාම රාවණ යුද්ධයේදි, මේඝනාද, අහසේ වළාපටල අතර සැඟවී සහශ්‍රක අවිය භාවිතයෙන්, අසිරිමත් යුද්ධයක නියැලුණු බව වාල්මිකි පඞිවරයා රාමායනයේ දක්වයි. මේඝනාද වළා පටල අතරට ළඟා වූයේ එකල භාවිත වූ විමාන නම් අහස් යාත්‍රා භාවිතයෙනි. විමාන පදවමින්, වළා අතර නාදයන් ඇති කළ නිසාම, ඔහුට මේඝනාද යනුවෙන් නම් ලැබුණු බව සිතිය හැක. එසේම පසුව මේඝනාදට ඉන්ද්‍රජිත් යන ගෞරව නාමය පටබැ‍ඳෙයි. ඊට හේතු වන්නේ, ආකාශය ජයගත් මේඝනාද, ස්වකීය අහස් යානයෙන් තව්තිසා දෙව්ලොවට ගොස් ඉන්ද්‍ර දෙවියන්පවද රාජයට පත් කිරීමයි. ඉන්ද්‍රයන් ජය ගත් යන අර්ථයෙන් ඉන්ද්‍රජිත් යන නාමයද රාවණ පුතුට පසුව ව්‍යවහාර වෙයි.

- නලිඳු සැපත් -

Comments