
සංවාදය ඇති වූයේ ඉෂ්ඨ යන පදය සම්බන්ධවයි. පදයක අර්ථය සම්බන්ධයෙන් විමසීමේදී වැදගත් වන්නේ එම පදයේ නිරුක්තිවලින් ගම්‍යවන නියමාකාර අර්ථයයි. යථෝක්ත අර්ථයයි.
ඉෂ්ඨ යන පදයේ අක්ෂර භාවිතය සම්බන්ධයෙන් යම් යම් තර්කවාද පවතී. කෙනෙකු එය ඉෂ්ඨ ලෙස ලිවිය යුතු බව කියයි. තවෙකෙකු එය ඉෂ්ට ලෙස ලිවිය යුතු බවට තර්ක කරයි. ඉෂ් + ඨ යන පද එක්ව එම නාමය සෑදෙයි. ඉෂ් යනු ඉච්චතාවයි. කැමැත්තයි. ඨ යනු තහවුරු භාවයයි. ට වෙනුවට ඨ එක් වූ එහි වූ අර්ථය තවත් ගැඹුරු වෙයි. ඉච්චතාව වඩාත් තහවුරු වීම ඉන් හැඟවෙයි. නමුත් පද දෙකෙන්ම හඟවන්නේ එකම අදහසකි.
එසේ වුවද, එකම ආකාරයෙන් වර නැඟුණද, එකම අරුත් ගෙන නොදෙන ඇතැම් පද ද දක්නට ලැබේ. නිදසුනක් ගෙන අලු සහ අළු යන පද දැක්විය හැක. අලු යනු ආලෝකෝ නම් මාගධි පදයේ හෙළ පදයයි. අළු යන අවශේෂ සුන්බුන් යන අදහස දෙන පදයයි. නමුත් මෙම අක්ෂර දෙක ගැන වැඩි දෙනෙකු සැලකිලිමත් නොවන අවස්ථාද දක්නට ඇත. විශේෂයෙන් අලුත් යන පදය ලිවීමේදී අළුත් ලෙසද එය ලියයි. එසේ වූ විට පදය අර්ථ දෝෂ සහිත වෙයි. යමකට ආලෝකය එක් වූ විට එහි අලුත් බවක් නැවුම් බවක් පෙනෙයි. රැයක් පුරා අඳුර තුළ සිටින මිනිසුන්ට පසුදා අලුත් උදාසනක් උදා වන්නේ, අඳුර බිඳ හැර ආලෝකය උදා වී ඇති නිසා ය. අලුත් යනු නිවැරැදි පදයයි. අාලෝකෝ යන මූල මාගධී පදයෙන් අලු යන හෙළ පදය බිහි වෙයි. ආ + ලෝක යන පද එක්ව අලෝක යන පදය සෑදෙයි. ලෝක යනු පංචඋපාදානස්කන්ධයයි. නැතහොත් සිත කය ඇතුළත් නාම රූපයයි. දොළොස් ආයතනයයි. සබ්බ කායයි. ලෝකයෙන් වෙන් වූ තැන ඇත්තේ ආලෝකයයි. ආලෝකෝ උදපාදි යනු ආලෝකය උදා වීමයි. ආලෝකය උදා වීම යනු සම්මා විමුක්තියට පත්වීමයි. නිවනට පත්වීමයි. සසර ගමන කෙළවර කිරීමයි. එබැවින් අලු, අලුත් යන පද භාවිතයේදී විමසිලිමත් වීම වටී.
හෙළ බස යනු හෙළ අරිහතුන් වහන්සේලා වෙතින් පැන නැඟී පෝෂණය වූ බසක් නිසාම, හුදු ලෞකික අර්ථ ඉක්මවා ගිය ගැඹුරු ලෝකෝත්තර අර්ථයන්, හෙළ වචන තුළ අන්තර්ගත වෙයි. හෙළ බස යනු අවබෝධය තුළින් උපන් බසකි. හෙළ බසට මෙම මාහැඟි ලක්ෂණය එක් වී ඇත්තේ එය මූල මාගධී භාෂාව ආභාසයෙන් පැන නැඟී ඇති නිසා ය.

විවිධ සතුරු ආක්‍රමණ නිසා හෙළදිවට අත්වන ඉරණම දැක වළගම්බා රජ දවස හෙළ මහ රහතන් වහන්සේලාම මුල් වී, පරම ගාම්භීර බුද්ධ භාෂිත ත්‍රිපිටකත්‍රය, මාතලේ අලු විහාරයේදී ග්‍රන්ථාරූඪ කරන තුරු සම්පූර්ණ බුද්ධ භාෂිතයම පැවතියේ වාචික දත්ත එකතුවක් ලෙස ය. අවබෝධයක් ලෙස ය. මිනිස් මතකය තුළ ය. ඒ අනුව මූල මාගධි භාෂාව යනු ලිඛිත භාෂාවක් නොව, වාචික භාෂාවක් පමණක් බව දැකිය හැක. එය මිනිස් හැඟීමට, අවබෝධයට ආමන්ත්‍රණය කළ හැඟීමේ භාෂාවකි.


අතීත හෙළයෝ හෙළ බසින් විවිධ දහම් නිරුක්ති පහදමින් මහාර්ඝ පොත ලියූහ. දහම් දේශනා සිදු කළහ. එම පොත් පත් කියවූ මිනිසුන් තුළ රාග, ද්වේෂ බව, මෝහ බව පහවී ගියේ ය. බව නැසූ නිසා එම පොත් "බණ පොත්" විය. දහම්ගැට මාලාව,, සියබස්ලකර, දළදා සිරිත, සසදාවත, මුවදාවත, උමංදාකව, සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මරතන්කාරය, සද්ධර්මාලංකාරය, එඵ අත්තනුගලු වංශය, ජූජාවලිය, අමාවතුර, බුත්සරණ, පන්සිය පනස් ජාතකය, සමන්තකූඨ වර්ණනාව, රසවාහිනිය (ජාතකට්ඨ කතා), හෙළබෝධි වංශය, මහාබෝධි වංශය, සිඛවළඳ හා සිඛවළඳ විනිස, සිංහල විමානවස්තූප්‍රකරණය, අනාගත වංශ දේශනාව, වෙසතුරුදාකව, මිලින්ද ප්‍රශ්නය, දහම් ප්‍රදීපිකාව (දම්පියාව), දම්පියා අටුවා ගැටපදය, දළදා පූජාවලිය, ශාසනාවතාරය, ථූපවංසය යනාදි මහාර්ඝ හෙළ කෘති තුළින් පෙන්වා ඇත්තේ අනන්ත බුදු ගුණයි. දම් ගුණයි. සඟ ගුණයි. එම පොත් පත් කියවූ සාමාන්‍ය ජනයා තුළද දහම් අවබෝධය වර්ධනය විය. දහමට නැඹුරු විය. මුළු මහත් සමාජයම නුවණින් හා ගුණයෙන් හෙළි පෙහෙළි විය. හෙළ බස වහරන හෙළයෝ ලොවට අග්‍ර වූහ. හෙළ බස ලොව බැබළිණ.

දහම් ගැට මාලාව නම් කෘතිය රචනා කොට ඇත්තේ, සාමාන්‍ය නූගත් ගැමියන්ට පවා දහම් අවබෝධයක් ලබා ගත හැකි අයුරිනි. හෙළ බසෙහි පොහොසත් බව පෙන්වන, මේ අපූරු දහම් තේරිවිලි දෙස බලන්න.මෙය බොහෝ දෙනා දන්නා දහම් ගැටයකි.
ඉස්සන් පිසාපිය - රා කලයක්ම බීපිය
මූව අඹවාපිය - මෙතුන කරලා මාව කාපිය
මූව අඹවාපිය - මෙතුන කරලා මාව කාපිය
භාෂා අර්ථයෙන් මෙතුළ පෙනී යන්නේ ග්‍රාම්‍ය වූ අදහසකි. නමුත් අර්ථ නිරුක්තියෙන් බැලූ විට එම දහම් ගැටය මඟින් ඉදිරිපත් කර ඇත්තේ, වටිනා දහම් ඔවදනක් බව පෙනී යයි.
ඉස්සන් යනු ඊර්ෂ්‍යාවයි. හෙළ බසින් ඉරිසියාව කියයි. ඉ+රිසියාව යන පද එක්ව එය සැදෙයි. ඉමහත් රිසියාව (කැමැත්ත) ඇත්තා හට හෙවත් අභිධ්‍යාව ඇත්තා හට ඉරිසියාව පහළ වෙයි. මෙයට දහම තුළ විෂම ලෝභය කියාද කියයි. අනෙකුට නොවේවා - මමට වේවා යන හැඟීම අභිධ්‍යාවයි. අභි + ඉධ්‍ය යන පද එක්ව එය සැදෙයි. මෙහි අභි යනු නැවත නැවත ගොඩ නගන යන අරුතයි (අභිසංඛාරණයයි / රාග, ද්වේෂ, මෝහ මඟින් නැවත කර්ම භවයක් ගොඩ නැංවීමයි.) ඉධ්‍ය යනු ඉදි කිරීමයි. නැවත සිත කය ඉදි කිරීමයි. පංචස්කන්ධයක් සකස් කිරීමයි. අභිධ්‍යාව යනු දැඩිව සසර ගමනට ඇලීමයි. අභිධ්‍යාව යනු දැඩි ලෝභයයි. පංචකාමයන්ට ඇති දැඩි ඇල්මයි. පංචකාමයට දැඩි ඇල්ම ඇත්තා හට, තමන් ප්‍රිය සම්පත්තියක් අනෙකෙක්ට හිමවනු දුටු විට, සිතේ අභිධ්‍යාව නැඟී එයි. නැතහොත් ඉරිසියාව නැඟී එයි. ලෝභය සහ අභිධ්‍යාව දෙකකි. ලෝභය යනු තමාගේ සම්පත්තිය අනෙකෙකුට නොදී මසුරුකමින් රැක ඉන්නට ඇති කැමැත්තයි. අභිධ්‍යාව යනු අනෙකාගේ සම්පත්තියටද ඇලුම් කිරීමයි. අභිධ්‍යාව සතර අපායට ඇද හෙළන බලවත්ම අකුසලයකි. එය මනසින් ගොඩ නංවන භයානක අකුසලයකි. ඉරිසියාව ඇත්තේ අභිධ්‍යාව හෙවත් පංච කාමයන්ට දැඩි ඇල්ම ඇති විට ය. ඉසි කියාද හෙළ බසින් වහරයි. ඉසිකෝමන් යන පදය දහම් පාසල් ගීතයේද එයි. ඉසි + කෝ + මන් යනු ඊර්ෂ්‍යා, ක්‍රෝධ සහ මානයි. අනෙක් පාපයන් සමඟ ඉස්සන් හෙවත් ඉරිසියාව සිතින් පිසදැමිය යුතු ය.
රා යනු රාගයයි. රා බීමෙන් වන්නේ මත්වීමයි. රාගයෙන්ද වන්නේ මත්වීමයි. වඩාත් භයානක රාගයෙන් මත්වීමයි. රාගය යනු පංචකාමය ඇසුරට යාමයි. රාගය සිතේ පවතිනතුරු සසර ගමනේ නිමාවක් දැකිය නොහැක.මේ දුක්ඛිත සසර තුළ සැරිසරන්නට සිදු වේ. එමනිසා, රාගය ක්ෂය කළ යුතු ය. රාගය අවසන් කළ යුතු ය. රාගය සිතින් හිස් කළ යුතු ය. බී අවසන් කළ පසු කලය තුළ නැවත රා නැත. හිස් කලය නිසා මත් වීමක් නැත. රාගයෙන් හිස් වූ සිතක මත් වීමක් නැත.
මුව අඹවාපිය යනු මෝහය පන්නා දමනු යන අදහසයි. අඹනවා යනු එළවා දමනවා, පන්නා දමනවා යන අදහසයි. අස්වැන්න පැසෙන කාලයට කුරුල්ලන් ළා අස්වැන්න කෑමට හේනට කුඹුරට එයි. උන්ගෙන් අස්වැන්න රැකගත යුතු ය. එබැවින් උන් පන්නා දැමිය යුතු ය. ඊට සකයෝ අඹනවා යැයි වදනක් ඇතැම් ග්‍රාමිය පළාත්වල භාවිත වෙයි. මෝහය යනු මුවා වීමයි. පංච කාමයට මුවා වීමයි. යමෙකු පංච කාමයට මුවා වූ විට ඔහුට සත්‍යය නොපෙනී යයි. තවත් නිරුක්තියකට අනුව, මෝ යනු මත්වීමයි. හය යනු සලායතනයි. සලායතන තුළින් මත්වීම මෝහයයි. රාගය සහ ද්වේෂය නිසා මෝහය පවතියි. රාගය හෝ ද්වේෂය සමඟ අත්වැල් බැඳ මෝහය පැමිණෙයි. මෝහයට පත්වූවෙකු මානසිකව අන්ධ බවට පත්වේ. කරන කියන කිසිවක අර්ථය අනර්ථය නොපෙනී යයි. මෝහයේ ස්වභාවය එයයි.
මෙතුන කරලා මාව කාපිය යන්නෙහි ඇත්තේ මහත් වූ ගැඹුරු අරුතකි. ඉරිසියාව නසා, රාගය අවසන් කර, මෝහය දුරු කළ විට, ද්වේෂයද ඉබේම නැසෙයි. එවිට පංචස්කන්ධයට ඇලුම් කරමින්, මම මගේ යැයි කියමින් සිටි මුළා සත්වයා අවසන් වෙයි. මමත්වය අවසන් වෙයි. මාව කාපිය යන්නෙහි අර්ථය, මමත්වය ක්ෂය කරවු යන්නයි. මමත්වය ක්ෂය කිරීම යනු නිවනට මඟයි.
මේ විග්‍රහ කරනු ලැබුවේ එක් දහම් පොතක එක් දහම් ගාථාවක් පමණි. ඉහතින් දක්වා ඇති මහාර්ඝ ධර්ම ග්‍රන්ථයන් තුළ ගැබ් වූ ධර්මස්කන්ධය කෙබඳුද ..... කුමන හෝ අවාසනාවකට අද ඒවා ජන සමාජයෙන් ඈත් වී ඇත. නිවනට මඟ කියූ උදාර හෙළ බසෙහි සුගම්‍ය අර්ථපූර්ණ බස් වහර පෙන්වා දිය හැකි තවත් නිදසුන් කිහිපයකි මේ ....
දම්පියාව .............
මෙසෙයින් අපායගත ස්වර්ග ගත සත්වයන් දිව ඇසින් දක්නාහු එක්ලොකධාතුවෙක සතුන් දකිත්මයැ, අනෙකලොකධාතුවැ සතුන් දකිත් මැයි.
එයින් කීහ එහි මැ:-
“ආකඞ්ඛමානො ච භගවා එකම්පි ලොකධාතුං පස්සෙය්යු ද්වෙපි ලොකධාතුයො,තිස්සොපි ලොක ධාතුයො, වතස්සොපි ලොකධාතුයො, පඤ්චපි ලොකධාතුයො, දසපි ලොකධාතුයො විසතිපි ලොකධාතුයො, වත්තාළිසම්පිලොකධාතුයො පස්සෙය්යස: සහස්සිම්පිවූළනිකං ලොකධාතුං, ද්විසහස්සිම්පි මජ්ඣීමිකං ලොකධාතුං, තිසහස්සී මහාසහස්සිමිපි ලොකධාතුං පස්සෙය්යි; යාවතාපනාකඩ්ඛෙය්යං තාවතකං පස්සෙය්යහ එවං පරිසුද්ධං භගවතො දිබ්බචක්ඛුං”යි - මේ දිවඇස.
මෙහි පැනඇස් නම් කවරැ යත්?
අතීතානාගතවර්තඇමානවිෂය වූ සර්ව ධර්මයන් සර්වාඇකාරයෙන් දක්නේ “පැනැස්” නම්.
අමාවතුර ........
සබඳ සෙසුයිම්දරුවෝ සූපණස්දෙනෙක් ‘ඔහු පැවිජි වූහ’ යනු අසා ඉසිපතන් ගොස් දැකැ බුදුන් කෙරේ බණ අසා එහිභික්ඛුභාවයෙන් පැවිජි වැ රාත් වූහ. මෙසේ ලෝකයෙහි බුදුන් ඇතුළු වැ රාතන් එක්සැටදෙනෙකු නිපන්කල්හි බුදුහු වස් වැසැ පවරා “මහණෙනි, දනවු සැරිසරන්නට එළඹෙව. දෙදෙනෙක් එකමඟින් නො යව. ගිය තන්හි ධර්මස දෙසව. සත්වැඩ සාහව” යි සඟුන් සැටදෙනා ඒ ඒ තැනට නඟා යවා තුමුහු උරුවෙල්දනවු වඩනාහු අතරමඟැ කපුවනඋයන්හි කෙළනට ගිය රජකුමරුවන් තිස්දෙනාහට ධර්මන දෙසා සෝවාන් සෙදගැමි අනගැමි කොට එහිබික්ඛූභාවයෙන් පැවිජි දී සැරිසරණූවට නඟා යවා ................
බුත්සරණ ...........
තවද තෘෂ්ණාවට ගැති වැ රජය කෙරෙම් දැ?" යි එදවස් මැ අසූචි පිරිණු ඔවස්කිළියක් සේ සියලු රජය හැරැ මහණ වැ බඹලොව ගිය; රන්වන්මුව වැ සරණ වන් මුවදෙනට දිවි පුදා දම්ගෙඩියෙහි හිස තබා "මා දිවි හැර දමා සරණ ගියවුන් රක්ෂා කරවම්" යි සතුටු වැ, අභිෂෙකයට පෙහෙ වැ හොත් රාජකුමාරයක්හු සේ නිවී සැනහී, රජහට බණ කියා මුළුලොවට අභය දෙවූ: වඳුරු වැ උදකරාක්ෂයාගේ විලට නො බැසැ පැන් බොන්නට පිඹි හුණ නළෙහි කපක් දවස් ගැට නැති වන පරිද්දෙන් මහත් වූ ආනුභාව ඇති ; බලු වැ බරණැස්රජුගේ සිංහාසනයෙහි හිඳ රක්ගල්තෙලෙහි හිඳැ සිංහනාද කරණ කෙසරසිංහපොතකයකු සේ .......
එසමයෙහි තපස් මැ ධන කොටැ ආත්තාවූ ඒ සුමේධ තාපසයෝ ලොවට මුදුන් මල්තඩක් වැනි වූ, අරුණ තරුණ රශ්මි පෙරදැරි කොටැ ඇත්තාවූ හිරු නැඟි කල්හි, උතුරු හිමාලය වනයට යනු කැමති වැ, අභිඥාපාදක කොටැ ඇති චතුර්ත්ථ ධ්යා,නයට සමවැදැ සියලු සත්වයන්ට පෙනෙන්නා වූ ශරීරයෙන් ස්වර්ණ හංස රාජයක්හු මෙන් ආකාශපයථයට පැන නැඟී, විශේෂයෙන් නිල් වූ ආකාශ තලයෙහි තහවුරු විදුලිය ලීලායෙන් යන්නාහු ; අඹගම් නුවරවාසීන් විසින් මහදන් සරහා, දිව්ය පුරය්ක් මෙන් නුවර සරහා, දීපඞ්කර සර්වඥයන් වහන්සේ වඩනා වූ මාර්ගය ශක්ර දේවේන්ද්රපයන් ගේ පුළුල සැට යොදුන් පමණ ඇති, ඒ ඒ තන්හි නඟනලද රන් තොරණ රිදීතොරණ හා වෙරළුමිණී මරාමිණි පබළු ඉඳුනිල්මිණී තොරණ ද ඇති භූමියෙහි සත් රුවන් වැලි තනන ලද දෙපසැ .............
සද්ධර්මාලංකාරය ......
“ජානමානොහි ලොකස්මිං. දානස්සේදං ඵලං ඉති, න දජ්ජා නො සුසීලෙසු, අප්පමපි දිවසම්පති.
සග්ගලොකනිදානාති, දානාති මතිමා ඉධ, කො හි නාම නරො ලොකෙ, න දදෙය්ය, හිතෙ රතො”.
යනාදීන් දන් දීමෙහි විපාක මෙ පරිද්දෙන් වන්නේ ය යි කියා විශේෂයෙන් දානඵලවිභාග දන්නා වූ මේ ලොවැ කවර නම් මනුෂ්යියෙක් සිල්වතුන් වහන්සේට දවස් පතා ස්වල්පමාත්රකව වුවත් දානයක් නොදෙන්නේ ද, ඒකාන්තයෙන් දෙන්නේ මය. සියලු ස්වර්ගනමෝක්ෂදසම්පත්තිය සිඬ කොට දීමට ඒකාන්තකාරණ වූ දානය මේ ලෝකයෙහි නුවණැත්තා වූ තමහට වැඩ කැමති කවර නම් මනුෂ්යායෙක් නොදෙන්නේ දැයි මෙසේ දානයට ප්රඩශංසා කොට කියා එම්බා සොඳුර, වලට වැද අනෙකප්රෙකාර වූ පත්රරජාතීන් එා ඵලජාතීන් පැස් පුරා ගෙනවුත් විකොට වි නමුත් දන් නොකඩ කොට දෙම්හ යි කියා එ තැන් පටන් වලට ගොස් පලාකොල හා නොයෙක් ඵලාඵල ගෙනවුත් විකොට එයින් ලුණු මිරිස් තෙල් සහල් ආදී වු දානොපකරණ සලයා ගෙන දන් දෙමින් වාසය කෙරෙයි................
තවත් මෙවැනි නිදසුන් සිය ගණන් වුවද පෙන්වා දිය හැක. හෙළ රහතන් වහන්සේලාගේ දහම් නිරුක්ති තුළින් පෝෂණය වූ උදාර හෙළ බස තුළ, පසු කලෙක සංස්කෘත භාෂාවේ ආභාසය නිසා තරමක ව්‍යාකූල භාවයක් ඇති විය. පසුකාලීන හෙළ කෘතින් අධ්‍යනයනය කරන විට ඒ බව පෙනී යයි.
ලෝකෝත්තර අර්ථ සහිත හෙළ වචන සහ ලෞකික අර්ථ සහිත සංස්කෘත වචන එකට මුසුවීම නිසා, අවසානයේ සිදුවූයේ දෙලොවටම නොමැති භාෂාවක් බිහීවිමයි. අද අප සිංහල කියා වහරන්නේ එයයි. නමුත් මූලික හෙළ බස යනු, මේ මහා භද්‍ර කල්පයේ දුලබ මිනිස් උපතක් ලැබූ ලෝ සතුන්ගේ සිත නිවනටම, අර්ථයටම යොමු කළ පැහැදිලි හා නිරවුල් බසක් බව, උක්ත කෘති පරිශීලනය කරන විට වුවද දැකිය හැක.

එසේම, තවත් වසර කීපයක් ගිය තැන, පැරණි හෙළ දහම් පොත් ඉඳහිට හෝ නරඹා අපට කීමට ඉතිරි වන්නේ, හෙළ අරිහතුන් වහන්සේලා වෙතින් බිහි වී පෝෂණය වූ හෙළ බස නම් වූ අති උදාරවත් බසක්, කලකට පෙර මෙහි පැවති බව පමණි. දිරා යන පුස්තකයන්ට කිසිවක් පැවසිය නොහැක.
හෙළ බස යනු මූල මාගධී බසින් උපන් පිරිසිදු අරුත් පිරි බසක් බව පෙන්වා දීමට තවත් නිදසුන් සිය දහස් ගණනක් වුවද සොයා ගත හැක. විමසිල්ලෙන් නුවණින් පරික්සා බලන විට, බොහෝ හෙළ වචන තුළ, සාමාන්‍ය ලෞකික අර්ථ ඉක්ම වූ ගැඹුරු දහම් අරුත් සැඟවී ඇති බව දැකිය හැක.
- නලිඳු සැපත් -
Comments
Post a Comment