බුදු සිරිතේ එන නම් ගොත් ......... 2

අපගේ බුදු සසුනේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර,  නීරෝ්ගී භාවයෙන් අග්‍ර තනතුරු ලැබුවේ බක්කුල මහ රහතන් වහන්සේ ය. කොසැඹෑ නුවර සිටු පවුල සහ බරණැස් නුවර සිට පවුල යන උභය කුලයෙන්ම එක සමාන ආදර සැලකුම් ලබමින් බොහෝ සැප සේ ඇතිදැඩි වන්නට තරම් පින් තිබූ බැවින්ම, බක්කුල යන නාමය හිමිවිය.

බෞද්ධයන් අතර වචන පිළිබඳ කතාවලදී පිළින්දවච්ච මහරහතන් වහන්සේගේ නාමය බොහෝවිට සඳහන් වෙයි.
අරිහත් ඵලය ලැබ සිටි උතුමෙකු වුවද, අන්‍යයන්ට එයි මෙහෙ වර වසලයා වැනි පිළුණු වූ වචන පැවසූ නිසා, උන් වහන්සේට එම නාමය පටබැඳිණ. අරිහතුන් වහන්සේ නමක වුවද, උන් වහන්සේ්ගේ වචනය සංවර නැති බවට බුදු පියාණන් ඉදිරියේ අනෙකුත් භික්ෂූන් පැමිණිලි කළ විට, එය පිළින්දවච්ච හිමියන්ගේ වාසනා ක්ලේෂයක් පමණක් බවත්, අවසන් අත් බව පන්සියයක් පුරා, ගැල් සාත්තු නායකයෙකුව සිට ඇති කරගත් පුරුද්දක් නිසා එවැන්නක් පවසන මුත් උන් වහන්සේ තුළ කිසිදු ද්වේෂයක් නොමැති බවත්, උන් වහන්සේ අරිහත් උත්තමයෙකු බවත්, බුදු පියාණන් වහන්සේ වදාළ සේක. (සියල්ලෙන් සියල්ල වාසනා ක්ලේෂ පවා ප්‍රහීණ වන්නේ තථාගත බුදු පියාණන් වහන්සේගේ පමණි).

උදේනි රජතුමාගේ අග බිසව වූයේ සාමාවතී බිසවයි. ඇයගේ ප්‍රධාන සේවිකාව වුයේ ඛුජ්ජුත්තරායි. පෙර භවයක පසේ බුදු වරයාණන් වහන්සේ නමකට නිගරු කිරීම නිසා, ඇයට කුදු සිරුරක් හිමි වී තිබිණ. ඇයගේ සැබෑ නාමය උත්තරා වු වුවද, ඇයව වැඩි දෙනා හඳුනාගත්තේ, කුදු + උත්තරා, ඛුජ්ජුත්තරා යන නමිනි. එය ඇයට සමාජය පටබැඳි නාමයකි. කෙසේ වුවද ඇයද, සෝවාන් ඵලයට පත් උත්තමාවියකි. සාමාවතී දේවිය ඇතුළු පන්සියයක් බිසෝවරු, මගඵල ලබන්නේ, ඛුජ්ජුත්තරාගෙන් ධර්මය ඇසීමෙනි.

මිගාර සිටුතුමාගේ මැදුරේ මාලා නම් යොවුන් මෙහෙකාරියක් විය. මිගාර සිටුතුමා කාරුණික පුද්ගලයෙකු වුවත්, ඔහුගේ භාර්යාව, මෙහෙකාරියට අප්‍රමාණ ගුටිබැට දුන්නා ය. වදහිංසා ගෙන දුන්නා ය. ඇයගේ සුළු අතපසුවීමට පවා බොහෝ දඞුවම් ලැබීමට සිදු විය. දිනක් මාලා ට සිදු වූ යම් අතපසුවිමක් නිසා තදින් කිපුණු ස්වාමිදුව ඇයගේ දිගු කෙස් වැටියෙන් අල්ලා දැඩි ලෙස පහර දුන්නා ය. මාලා නැවත එය සිදු නොවනු පිණිස තමාගේ අලංකාර කෙස් වැටිය කපා දැම්මා ය. එවිට ස්වාමිදුව, මාලාගේ ගෙළ වටා ලණුවලින් සෑදු මාලයක් පැළඳුවා ය. ඉන්පසු ඇයට ගෙළවට ලණු මාලයක් ඇත්තී යන අරුතින් රජ්ජුමාලා යන නම පටබැඳිණි. ජීවිතයේ බොහෝ දුකට පත් වූ රජ්ජුමාලා, තථාගත බුදු පියාණන් වහන්සේ වෙත එළැඹ බණ අසා ධර්මාවබෝධය ලබා, මරණින් පසුව, තවිතිසා දෙව්ලොවට පිය මැන්නා ය.

- නලිඳු සැපත් -

Comments