බුදු සිරිතේ එන නම් ගොත් ......... 1

බුදු දහම අධ්‍යයනය කරන විට, ත්‍රිපිටකයට අයත් විවිධ පොත් පත් කියවන විට, බුදු බණ අසන විට, බුදු සිරිතේ එන විවිධ මහ රහතන් වහන්සේලාගේ හා ගිහි උපාසක උපිසාකාවන්ගේ අපූර්ව නම් ගොත් දැකිය හැක. එම නම්ගොත් වටා කිසියම් පුවතක්ද සැඟවී ඇති බව දැකිය හැකි ය.

එකල අද මෙන් නොව, පුද්ගලයාට මව්පියන් තැබූ නාමය අබිබවා, එම පුද්ගලයාගේ ස්වරූපය, ගති ස්වභාවය, චර්යාව යනාදිය සැලකිල්ලට ගෙන, සමාජය විසින් පට බඳින ලද නාමයන්, සමාජයේ පිළිගත් නාමයන් ලෙස ව්‍යවහාර වූ බව පෙනේ. ඊට කොතෙකුත් නිදසුන් සොයා ගත හැකි ය.

අපගේ බුදු සසුනේ ගිහියන් අතර අග්‍ර දායක තනතුර ලද ගිහි උත්තමයා වන්නේ, අනාථපිණ්ඩික සිටුතුමායි. නැතහොත් අනේපිඞු සිටුතුමායි. අනාථපිණ්ඩික යන නම ලැබී ඇත්තේ, එතුමන් විසින් දිනපතා, දුගී මගී යාචකයන් උදෙසා දන්සැල් පැවැත්වූ බැවිණි. දුගීන්ට ආහාර දන් දුන් බැවිණි. අනාථයන්ට පිණ්ඩික හෙවත් ආහාර ලබා (පිණ්ඩපාතය - ආහාර) දුන් උත්තමයෙකු නිසා, සමාජය විසින් ඔහුට, අනාථපිණ්ඩික යන ගෞරව නාමය පටබැන්දේය. කිසිවෙකු නොදැන සිටි එතුමන්ගේ ගිහි නාමය, බුදු රජුන් දිවැසින් දැක හෙළි කළ සේක. සුදත්ත මෙහි එන්න යැයි පළමුවරට තමන් හමුවන බුදු පියාණන් වහන්සේ, එතුමන්ට අමතන විට, කිසිවෙකු නොදැන සිටි තම ගිහි නාමය, දිවැසින් දැනගත් මේ උතුමන් නම්, ඒකාන්තයෙන්ම, තමන් අනන්ත සසර සිට සොයමින් පැමිණි ලොව්තුරු සම්මා සම්බුදු රජුන් බව සැකහැර අවබෝධ කර ගත්තේ ය. අනාථපිණ්ඩික යන නාමය, සැවත්නුවර සියලු ජනයාගේ ගෞරවාදරයට පාත්‍ර වූ නාමයක් විය. අද වුවද එම උතුම් නාමය, සූත්‍ර දේශනාවක් අසන සෑම විටම, ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහරතී ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ ....... යනුවෙන් අසන්නට ලැබෙයි. අපගේ බුදු සසුන තුළ තවත් බොහෝ කාලයක් එම නාමය විරාජමාන ය. (රූපං ජීරතී මච්ඡානං - නාම ගොත්තං නජීරතී).

යහපත් චර්යාව හා පැවැත්ම නිසා සමාජයෙන් ගෞරව නාම ලද අනේපිඞු සිටුතුමා වැන්නන් මෙන්ම, තණ අගලා තෙල් බින්දුවක් විතරක් දෙයක් අනුන්ට නොදුන් හෙයින් අදින්න පුබ්බක නම් අගෞරව නාමය ලැබූ මසුරු සිටුවරුයෙක්ද එකල සැවත්නුවර වෙසී ය. තම එකම පුත්‍රයාට රන් කරුවෙකු ලවා කුණ්ඩලාභරණයක් තනා දීමට මසුරු වූ හෙතෙම, මිටියක් ගෙන කුණ්ඩලාභරණයක හැඩයට රන් කැබැල්ලක් තම අතින්ම තලා, සකසා දුන්නේ ය. එම කිසිදු රන් කර්මයක් නොමැති මටසිළිටු වු පැතැලි කුණඩලාභරණය පැළඳීම නිසා,එම සිටු පුත්‍රයා මට්ටකුණ්ඩලී ලෙස නම් ලැබී ය. යොවුන් වියට පත් මට්ටකුණ්ඩලී බලවත් ලෙස  රෝගාතුර විය. මිල ගෙවා වෛද්‍යවරයෙකුගේ සේවය ලබා ගැනිමට මසුරු වූ පියා, තම පුතුට ඔහු දන්නා ගොඩ වෙදකම් සියල්ල කළේ ය. ඉන් රෝගය වඩාත් අසාධ්‍යව, මට්ටකුණ්ඩලී මරුමුවට පත් විය. නමුත් ලොව්තුරු තථාගතයන් වහන්සේගේ අනන්ත අපරිමාණ කරුණා මහිමය නිසාම, මට්ටකුණ්ඩලී අවසන් මොහොතේ සවණක් බුදු රැස් දැක සිත පහදවාගෙන තව්තිසා දෙව් සුගතියට පාර කපා ගත්තේ ය. එපමණක්ද නැත, අදින්න පුබ්බක මසුරු සිටාණන් හටද, බුදු පියාණන් වහන්සේගෙන් සද්ධර්මය අසා සෝවාන් ඵලයට පත් වීමේ භාග්‍යය හිමි විය. මුලදි සමාජයේ අගෞරව ලැබුවද, ධර්මය අවබෝධ කොට දැඩි මළකඩ කඩා පිරිසිදු කරන්නා වූ යකඩයක් මෙන් පිරිසිදු කර ගත් සිත නිසා, අදින්න පුබ්බක නාමයද, පසු කලෙක ජනයාගේ ගෞරවයට

පාත්‍ර විය. (රූපං ජීරතී මච්ඡානං - නාම ගොත්තං නජීරතී).

- නලිඳු සැපත් -

Comments