බුදු සිරිතේ එන නම් ගොත් ....... 03

බුදු දහම ලක් වැසියාට උරුම කර දුන් බොහෝ ය. බුදු දහම තුළින් හික්මීමට පත් අතීත හෙළයෝ, බුුදු
සිරිතේ එන නම් ගොත්ද ස්වකීය ව්‍යවහාරයට ඈඳා ගත්හ.

ආනන්ද, අනුරුද්ධ, උපාලි, රාහුල, තිස්ස, කාශ්‍යප, භද්දිය, සුභූති, රේවත, සීවලි, උපසේන, සෝභිත, නන්දක, නන්ද, මහානාම, නාලක, නාරද, අජිත, හේමක, විමල යන නාමයන්, ගෞතම බුදු සසුනේ මහ රහතන් වහන්සේලා අතර, බහුලව ප්‍රචලිතව පැවැති නාමයන් බව දැකිය හැක. පසු කලෙක, බුදු දහමේ ව්‍යාප්තිය සමඟ  හෙළ දිව තුළද, එකී නාමයන් ද ගිහි පැවිදි බේදයකින් තොරව, පුද්ගල නාම ගෝත්‍ර ලෙස භාවිතයට එක් විය.

උදේනි, බිම්සර,ධනංජය, බන්දුල, කපිල, අමිත, සුභද්‍ර, ඉන්දු,  නන්දන, උදය, මංගල, සුනීත, සුදස්සි, සුද්දසන, ජයවර්ධන, පාලිත, පණු්ඩල, නාලන්ද, සුමන, විදුර යනාදි, බුදුන් සමයේ භාරතයේ සිටි රජවරුන්, සිටුවරුන්, මැති ඇමතිවරුන්, ප්‍රභූවරුන් සතු වූ ප්‍රතාපවත් නාමයන්ද, හෙළයන් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත් විය.

විශාකා, මල්ලිකා, නන්දා, උත්පලවණ්ණා, යශෝදරා, කච්චානා,  චිත්‍රා, සීලා (සීලවති), ලතා, සිරිමා, උත්තරා, ඛේමා, සුනන්දා, මාලා, සුමනා, සාමා (සාමාවතී), රෝහිණි, මංගලා, සුමංගලා, ගෝතමී, සුභා, පුණ්ණා, සුජාතා, භද්‍රා (භද්‍රාවතී), ලීලා (ලීලාවතී), සුභද්‍රා, සුයාමා, රේවතී, බෝ්ධි වැනි බුදු සිරිතේ එන රහත් මෙහෙණියන්ගේ නාමයන් සහ බෞද්ධ ගිහි උපාසිකාවන්ගේ නාමයන්ද අතීත ලාංකික ජන සමාජයේ බහුලව භාවිත වූ බවට සාක්ෂි සාධක ඇත.

බුදු දහමින් ලද පන්නරය නිසාම, අතීත ලාංකිකයන් බුදු සිරිතේ එන නම් ගොත් තම ජීවිත හා බද්ධ කර ගන්නට ඇත. ගුණවත් මිනිසුන් හෙබ වූ එම නාමයන් තුළින්, කිසියම් යහපත් ගුණයක්, යහපත් සංඥාවක් ඔවුන් වෙතද කාන්දු වන්නට ඇත. එම ආර්ය උතුමන් ගැන ඔවුන් තුළ පැවැති ගෞරවය, එම නම් ගොත් භාවිතය තුළින් ඔවුන් පෙන්නුම් කරන්නට ඇත. ගුණයට ගරු කළ ඔවුන් සෑමවිටම  ගුණවන්තයන්ගේ නාමයන් පමණක් වෙන් කොට ගනු ලැබී ය.

බුදු සිරිතේ එන තවත් කොතෙකුත් නාමයන් වෙයි. බුද්ධ භාෂිතයට පිටුපාමින් කටයුතු කළ, දේවදත්ත, අජාසත්ත, සුන්දරී, මාගන්ධි වැනි නාමයන්ද ඒ අතර වෙයි. නමුත් අද වනතුරු, එම නාමයන් භාවිත කළ අන්‍ය පුද්ගලයෙකු නම් අපට හමු වී නොමැත.

- නලිඳු සැපත් -


Comments