සිඳූ සහ තෙරුණි සැදුණු හැටි ........

(මෑත කාලයේ ජනප්‍රිය හෙළ නම් කිහිපයක් පිළිබඳ නිරුක්ති ......... 02)

මෑත කාලයේදී වැඩි දෙනෙකු මාගෙන් අරුත් විමසන්නට යෙදුණු, තවත් ජනප්‍රිය නම් කිහිපයක නිරුක්ති මෙහි සටහන් තබමි. තබන්නන් වාලේ නොතබා, අර්ථයද මනාව දැන දරුවාට නම තැබීමට මෙම ලිපි පෙළ ඔබට යම් රුකුලක් වනු ඇත. එසේම, වර්තමානයේ අතිශය උග්‍ර අන්දමින් ලිබරල්කරණය වෙමින් පවතින ශ්‍රි ලාංකික සමාජ සන්දර්භය තුළ, හෙළයන් සතු උරුමයන් සියල්ල එකින් එක ගිලිහී යන අවදියක, අවම වශයෙන් තම දරුවාට හෙළ නාමයක් හෝ හිමිකර දීමට බොහෝ විට මව්පියෝ වෙහෙසෙති. අනාගත පූර්ණ වාණිජවාදි  උග්‍ර තරගකාරි ලෝකය හමුවට තම දරුවාවද යොමු කිරීමට ඔවුන් කැමැත්තෙන් පසුවුවත්, තම දරුවාට හෙළ නාමයක් තැබීමට ඔව්හු ප්‍රිය කරති. සැබවින්ම එය අගය කළ යුත්තකි. එවැනි මව්පියන්ට මෙම ලිපි පෙළ ඔස්සේ  වර්තමානයේ දරුවන්ට ඔබින නූතන නම් ගම් පිළිබඳ  යම් දැනුවත්භාවයක් ඇති කර ගත හැකි ය.

රිසිතු යනු නිතර අරුත් විමසන නමකි. රිසි + ඉතු  (රිස් + ඉත් + උ) පද එක්ව එම නාම සෑදෙයි. රිසි යනු කැමැත්තයි. ඉතු යනු ඉෂ්ට අරමුණුයි. ඉෂ්ට අරමුණු කැමැති වන්නා යනු එහි  තේරුමයි. රිසි යන්නෙහි නුවණැති / සෘර්ධිමත් / බලවත් යන අර්ථයද ඇත. ඒ අර්ථයෙන් රිසිතු යනු නුවණැති ඉෂ්ට වූ අරමුණු ඇත්තා යනුයි. ඉෂ්ට යනු යහපතයි. අනිෂ්ට යනු අයහපතයි. රිසිජ යනු සෘෂින්ගෙන් ජනිත වූ යනුයි. මනා උපතක් ඇත්තා යන අර්ථයද එහි වෙයි. රිසිත් යනුවෙන්ද එම නාමය වර නැඟිය හැක.

ඉටාෂි යනු ඉංග්‍රීසි උරුව දනවන නාමයකි. එහි අර්ථය වන්නේ අධිෂ්ඨානය ආශා කරන්නී යනුයි. ඉවින්මි යනු තවත් නව්‍ය නාමයකි. ඉමහත් මිහිර විඳින්නි යනු එහි අරුතයි.

තෙව්නෙත් යන නාමය වර්තමානයේ යම් ජනප්‍රියත්වයක් උසුලයි. තෙව් + නෙත් යන පද එක්ව එම නාමය සෑදෙයි. තෙව් යන තුන / ත්‍රිවිධ යන්නයි. නෙත් යනු නුවණයි. තුන් නෙත් ඇත්තේ මහේෂ්වරයාණන් හටයි. එනම් මහා බ්‍රහ්මයාටයි. මහා බ්‍රහ්මයාට නෙත් තුනක් ඇති බව කියයි. මහා බඹුන් තුන් නෙතින් තුන් ලොව දකියි. සැබවින්ම තුන් නෙත යනු ත්‍රිවිධ ඤාණයයි. නැතහොත් ත්‍රිවිධ අඥිඤ්ඤාවයි. (පුබ්බේ නිවානුස්සති / චූතූපපාත / ආසවක්ඛය). බුදු දහමට අනුව තුන් නෙත් ලැබුවෝ අරිහතුන් වහන්සෙයි. ආර්ය ගුණවතුන් හැඳින්වූ නාමයන් අතීතයේ සිටම හෙළයන් අතර භාවිත වූ දැකිය හැක.

තෙරුණි යනු මෑත කාලයේ වැඩි අවධානය දිනූ නාමයකි. තෙර + උණි යන පද එක්ව එම නාමය සෑදෙයි. එහි ඇත්තේ කෙබඳු අරුතක්ද ... තෙර යනු එතෙරයි. පරතෙරයි. පරතෙර යනු නිවනයි. උණි යන පදයේ ඇත්තේ ඊට පත්වීම / ඊට අනුගතවීම යන අර්ථයයි. ඒ අනුව තෙරුණි යනු පරතෙරට පත් වූ තැනැත්තී යනුයි. තෙරුණි යනු රහත් තෙරණියට වහරන ලද නාමයකි. එය පොදු ව්‍යවහාරික නාමයකි. සර්ව නාමයකි.  වර්තමානයේ එය සියලු මෙහෙණියන්ට අමතන පොදු ආමන්ත්‍රණයක් බවට පත් වී ඇත.  බෞද්ධ දරුවන් අතරද ජනප්‍රිය නාමයක් බවට පත්ව ඇත.

තෙරුණි හා බැඳුණු අනෙක් නාමය වන්නේ සිඳූ යන්නයි. එය සිඳු යන පදයෙන් වර නැගෙයි. ස + ඉඳු යන පද එක්ව එම නාමය සෑදෙයි. සිඳු යනු මහ සාගරයට නමයි. මහ සාගරයට ඒ නම ලැබී ඇත්තේ කුමක්ද නිසාද ? ඉන්ද්‍ර යන පදය හෙළ බසින් ඉඳු ලෙස වර නැගෙයි. ඉන්ද්‍ර යන නායකත්වය දරන්නායි. (දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳුන්ටද ඉන්ද්‍ර කියයි). ඉන්ද්‍ර යන පදය මූලිකත්වය උසුලන්නා යන අර්ථයෙන් බොහෝ තැන්වල යෙදෙයි. ඉන්ද්‍රිය යන පද සෑදි ඇත්තේ එම නිරුක්තිය මුල් කරගෙන ය. ශරීරියේ මූලිකත්වය දරන්නේ ඇස, කණ, නාසය, දිව, ශරීරය යන පංචකාමයන්ට ගොචර වන පංච ඉන්ද්‍රිය සහ ඒ සියල්ල මෙහෙයවන මනේන්ද්‍රියයි. සත්තිස් බෝධි පාක්ෂික ධර්ම අතරද, පංච ඉන්ද්‍රිය වෙයි. ශ්‍රද්ධා, ශීල, සති, සමාධි, ප්‍රඥා යනු එම නිවනට මූලිකත්වය දරන ඉන්ද්‍රිය ධර්මයෝ පහයි. යම් හෙයකින් යමෙකු තුළ මෙම ඉන්ද්‍රිය ධර්මයන් වැඩී නොමැති නම්, නිවන් අවබෝධ කළ නොහැකි වන බව ධර්මයේ ඉගැන්වීමයි.

ඒ අනුව ඉන්ද්‍ර හෙවත් ඉඳු යන මූලිකත්වය දරන්නා යන අදහසයි. ස යනු සත්වයායි / ජිවයයි. ඒ අනුව සිඳු යනු ජීවයට මූලිකත්වය දරන්නා යනුයි. මහ පොළාවේ ජීවය රඳා පැවතීමේ ප්‍රධානම හේතුව වන්නේ සප්ත මහා සාගරයයි. සාගරය මත දරා සිටින අති දැවැන්ත ජලස්කන්ධය නිසාම, ලෝකයේ පැවැත්මට අවශ්‍ය පරිසරික ආරම්භ - වේරම්භ (ජල වාෂ්ප / කාබන් අංශු / වායු / දුහුවිලි ශුද්ධාෂ්ඨක බවට පත්ව අභ්‍යාවකාශ චක්‍රයට එක්වී නැවත ලොවට අවශ්‍ය සියලු පෝෂක පදාර්ථ සංඝටක ඇතුළත් වර්ෂාවක් ලෙස පොළවට ඇද හැලෙන ක්‍රමවේදය) ක්‍රියාවලිය පහසු වී ජීවී සන්තිතියේ පැවැත්මට අවශ්‍ය සොබාදම් ක්‍රියාවලිය මනාව සිදු වෙයි. යම් දිනක එම ජලස්කන්ධය සිඳි යන්නේද, එදිනට මහ පොළවේ ජීවයද අතුරුදහන්ව යයි. (අග්ගඤ්ඤ සූත්‍රයේ එම ලෝක විනාශය ගැන සම්පූර්ණයෙන් විස්තර කෙරෙයි.)  එසේම මහ පොළවෙන් සියයට හැත්තෑවක් පමණ සමන්විත වන්නේ මහ සාගරයෙනි. ඒ අනුව මහ පොළවට වඩා අනන්ත ජීවි පරපුරක් මහ සයුරේ  වෙසෙන බව සිතිය හැක. එබැවින් මහ සාගරය යනු ජීව සම්පත දරා සිටීමේ මූලික වන්නායි. සාගරය යන පදයේ ඇත්තේද එම අර්ථයම ය. සා යනු සත්වයාට හිිමි ගති හඞකි. ගති නාමයකි. ගරය යනු නිවසයි. සත්වයාගේ නිවස මහ සාගරයයි. පෘථිවිය ජිවි නිවස්නක් බවට පත්ව ඇත්තේ මහා සාගරය නිසයි. ඒ අනුව සිඳු යන නාමය සැදී ඇත්තේ එම පුළුල් අරුතින් බව දැකිය හැක.

තෙරුණි සහ සිඳූ  යන නමයන් ගැන කතා කළ විට, සෝරත යන නාමය ද  අමතක කළ නොහැකි ය. සෝ + රත යන පද එක්ව එම නාමය සෑදෙයි. සෝ යනු සුවයට නමකි. සුවය ක්ෂය කර දමනා යම් හැඟීමක් ඇද්ද එය ශෝකයයි (ශෝ + ක / සෝ + ක). සුවය අව කර දමන බැවින්, සොව (සො + අව) යනුවෙන්ද එය වහරයි. ඇතැමෙකු ඇතැම් තැනක සෝ යනුවෙන් ශෝකය හැඳින්වුවද, නියමාකාර අර්ථය මතුවන්නේ සෝක යනුවෙන් යෙදූ විට ය. සෝ යනු සුවයයි. රත ඇසුරු කිරීමයි. සෝ්රත යනු සුවය හෙවත් නිරාමිස සුවය ඇසුරු කරන්නායි.

අයෝන් යනු ඉංග්‍රිසි උරුව ගත් තවත් හෙළ නාමයකි. අ + යෝන් යන පද එක්ව එම නාමය සෑදෙයි. අ යනු නිෂේධනාර්ථයයි.  අ යනු වෙන් වීමයි, අවසන් කිරීමයි. යෝන් යනු උපතයි. ඉපදවීමයි. ඉපදීමයි. අයෝන් යනු ඉපදීම අවසන් කරන්නායි. ඉපදීම අවසන් කිරීම යනු සදාතනික සුවයට ශාන්තියට පත්වීමයි. සදාකාලික සතුට හිමි කර ගැනීමයි. ලෝකෝත්තර වූ අර්ථයක් එම නමෙහි ගැබ් වෙයි.

නිරුදි යනු එවැනිම වූ තවත් නාමයකි. නිර් + උදී යන පද එක්ව එම නාමය සෑදෙයි. උදා නොකරන්නේ කුමක්ද ?  පටිච්ච සමුප්පාදයයි, දුක්ඛස්කන්ධයයි. පටිච්ච සමුප්පාදය උදා නොකිරීම නිරෝධයයි. නිරෝධය යනු සියලු දුක්ඛයන්ගේ අවසානයයි. විමුක්තියට මාර්ගයයි. ඉතා මහාර්ඝ අර්ථයක් එහි ගැබ්වෙයි.

විනුදි යනුවෙන් ජනප්‍රිය නාමයකි. වින් + උදී යන පද එක්ව එය සෑදෙයි. වින්දනය උදා කරන්නී යනු එහි අරුතයි. නමුත් මෙහි වින්දනය යනු කුමක්ද ? පටිච්ච සමුප්පාදයට අනුව සත්වයා ප්‍රිය කරන වින්දනය වන්නේ ත්‍රිවිධ වේදනා නිසා ඒ ඒ මොහොතේදී මනසේ ඇතිවන ආස්වාදයයි. ආස්වාදය උදා කිරීම යනු ලෝකයට අයත් කාර්යයකි. එබැවින් එය ලෞකික ය. විනුදි යනු ලෞකික අරුත් ගත් නාමයකි.

වින් යන පදය මුල් වී තවත් කොතෙකුත් නම් සෑදෙයි. ඒ සෑම එකකම ඇත්තේ, වින්දනය හා බැඳුණු කිසියම් අර්ථයකි. නමුත් කිසි විටෙකත් දරුවෙකුට විනාශා යන නම තබන්නට මව්පියෝ කැමැති නොවෙති. මන්දයත් එහි පද අර්ථයෙන් විද්‍යාමන අදහස නිසා ය. විනාශා යනු විනාශයයි. නමුත් එහි නිරුක්තිය දුටු විට සැබෑ විනාශය කුමක්දැයි දැකිය හැක. වින් + ආශා යන පද එක්ව විනාශා යන නාමය සෑදෙයි. විනාශය යනු කුමක්ද ? බුදු දහමට අනුව නම්, විනාශය යනු සසර ගමනට ඇද වැටීමයි. (අනිච්ඡං ඛයට්ඨේන). ක්ෂය වීම යනු සසරට එක්වීමයි. සසර තනන්නේ සංඛාරයි. එබැවින් සංඛාර ක්ෂය ධර්මයකි. එසේනම් විනාශය වන්නේ සසර ගමන උදා කර ගැනීමයි. එය නැවත දුක්ඛස්කන්ධය උරුම කර ගැනීමයි. එය සත්වයාගේ විනාශයයි.

විනාශය හට ගත්තේ කෙසේද ? වින් + ආශා කිරීම නිසා විනාශය හට ගත්තේ ය. වින්දනයන් (ආස්වාද)  ආශා කිරීම නිසා, දුක්ඛ සමුදය වී (වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදාන, උපාදාන පච්චයා භව යනාදි වශයෙන් පටිච්ච සමුප්පාද චක්‍රය ක්‍රියාත්මක වී ...........) දුක යළි ගොඩ නැගෙයි. විනාශය උරුම වෙයි.

භාෂා අර්ථයෙන්ම අදහස වැටහෙන නිසා විනාශා යන නමට මව්පියෝ එක එල්ලේම අකැමැති වෙති. නමුත් නිරුක්ති අර්ථය එක්වරම නොපෙනෙන නිසා, විනුදි යනු නමට වැඩි දෙනෙක් කැමැති වෙති. නමුත් යමෙකු එම නාමයන් භාවිත කිරීමට කැමැත්තක් ඇත්නම් එහිද වරදක් ඇතැයි කිව නොහැක. මන්දයත් නාමයේ අර්ථය මඟින් දරුවාට එවැනි අහිතකර අන්දමේ බලපෑමක් ඇති කළ නොහැකි නිසා ය. නමුත් දහසකුත් එකක් අරුත්බර හෙළ නාමයන් පැවතියදී එවැනි නාමයන් කෙරෙහි උත්සුක වීම කොතරම් බුද්ධිගෝචරදැයි පමණක් සිතා බලනු වටී. දෙලොව වැඩ සැලෙසන යහපත් අර්ථයක් සහිත හෙළ නාමයක් තුළින් දරුවාගේ මනසට මුළු  ජීවිත කාලයක් පුරා බලපවත්වන යහපත් සංඥාවක් ලබාදිය හැකිව තිබියදී, එම වටිනා අවස්ථාව මඟ හරවා ගැනීම උචිතදැයි සිතා බලනු වටී.

එසේ වුවද වින් යන පදය අගට යෙදෙන පුරුෂවාචි නාමයන්හීදී උක්ත නිරුක්තිය ගම්‍ය නොවේ. නාමයක අගට එය යෙදෙන විට විඳින්නා / විඳ ගන්නා යන අරුත් දෙයි. දම්වින්, බුද්වින්, නෙත්වින්, චත්වින් යන නාමයන්හී වින් යන පදය යෙදී ඇත්තේ විඳින්නා / විඳ ගන්නා යන අරුත් නංවමිනි. එසේම ඇතැම් ස්ත්‍රීවාචි නාම පදයක වුවද වින් යන පදය, විඳීන්නී / විඳ ගන්නී යන අර්ථයෙන් යෙදෙන අවස්ථාවද ඇත. එමනිසා එවැනි නාමයන් පරික්ෂාවෙන් තෝරා බේරා ගැනීම වටී. වින්තුමි යනු උතුම් බව විඳින්නී යනුයි. වින්දුලි යනු බැබලීම විඳීන්නී යනුයි. වින්හසා යනු සිනහව විඳගන්නී යන අරුතයි.


සිහන්ලි යනු තවත් ජනප්‍රිය නාමයකි. සිහ + අන් + ලි යන පද එක්ව එම නාමය සෑදෙයි. සිහ යනු ශ්‍රේෂ්ඨත්වයයි. අන් යනු ආහාර හෙවත් ප්‍රත්‍යයි. ලි යනු ඇලුම් කිරීමයි. ශ්‍රේෂ්ඨත්වය නංවන ඇල්ම ඇත්තී යනු එහි අරුතයි. (හෙළ / සිහල පද සෑදෙන ආකාරය පෙර ලිපියක දක්වා ඇත).

තුමිරු මෑත කාලයේ මව්පියන්ගේ අවධානය දිනාගත් තවත් නාමයකි. තුම් + ඉරු යන පද එක්ව එම නාමය සෑදෙයි. තුම් යනු උතුම් යන්නයි. ඉරු යනු සූර්යයායි. උතුම් සූර්යයා යන එහි අරුතයි. තුමිඳු යනු උතුම් නායකයායි. තුමෝද් යනු උතුම් බව උදා කරන්නායි.

අභිනේෂ් යනුවෙන්ද තවත් ජනප්‍රිය නාමයක් අසන්නට ලැබෙයි. අභි + නේ + ෂ් යන පද එක්ව එම නාමය සෑදෙයි. උසස් / විශේෂ නුවණ ඇසුරු කරන්නා / ආශා කරන්නා යනු එහි අර්ථයයි.

යෂ්වි යනු යසස්වන්තිය යන අර්ථයෙන් යුතු නාමයකි. යෂ්නිජ යනු යසස උපදවන්නා යන අර්ථය දෙන්නකි.
යෂෝදන යනු යසස උදා කරන්නායි.

- නලිඳු සැපත් -

Comments