අයෝනිට සිදු වූ දෙයක් ...


අයෝනි යන නාමය මේ වන විට භාවිතයෙන් ගිලිහී යමින් පවතී. ඊට හේතුව කිසියම් භාෂා විශාරදයෙකු විසින් එම නාමය, භාෂා නිරුක්තියෙන් පමණක් විග‍්‍රහ කිරීම නිසා ඇති වූ අනවබෝධයයි. 

අයෝනි යන නාමය සම්බන්ධයෙන් භාෂා වියතුන් පෙන්වා දුන් එම අසම්පූර්ණ අර්ථකථනයන් නිසා, පසු කලෙක, අයෝනි නම් වූ එක්තරා තරුණියක් තම නාමය පිළිබඳ ලැජ්ජාවෙමින් අයෝමි ලෙස නාමය වෙනස් කර ගත් පුවතක්ද වරෙක අසන්නට ලැබිණ.

මෙම නාමයේ සැබෑ අර්ථය කුමක්ද ? භාෂා නිරුක්තියට අනුව යෝනි යනු ස්ත‍්‍රීභාවයයි. අ යනු නැත යන අදහස හඟවන උපසර්ගයයි. එවිට එහි පද නිරුක්තිය වන්නේ, ස්ත‍්‍රිභාවයක් නොමැති තැනැත්තියක් යන්නයි. එහි ඇත්තේ අසැබි අදහසකි. අද්භූත අදහසකි. එවිට එම නාමය බැහැරට යාම පුදුමයක් නොවේ.

නමුත් අයෝනි යනු එබඳු සැහැල්ලූවට ලක් කළ හැකි නාමයක් නොවේ. ඒ බව වැටහෙන්නේ එහි පද නිරුක්තියෙන් විග්‍රහ කළ විට ය. 

යෝනි යනු උපතයි. සත්වයා තිස් එක තලයක උපත ලබන බව, බුදු දහම තුළ පෙන්වා දෙයි. මෙම සියලූ උපත් යෝනි ලෙස පෙන්වයි. මනුෂ්‍ය යෝනිය, තිරිසන් යෝනිය, ප්‍රේ්ත යෝනිය යනාදි වශයෙන් දක්වන්නේ සත්වයා උපත ලබන ස්ථානයයි. උපත ලබන තලයයි.

යෝනියකින් උපත ලබන සත්වයා නැවත යෝනියටම ඇලූම් කරයි. ඒ නිසාම, නැවත නැවත යෝනිය කරා (උපත කරා) පැමිණෙමින් අනන්ත දුක්ඛස්කන්ධයක් උරුම කර ගනියි. යම් දිනෙක, චතුරාර්ය සත්‍යය අවබෝධ කොට, රාග, ද්වේෂ,, මෝහ නිසා සත්වයා වැටී ඇති අවබෝධ කරගතහොත්, සංඛාර සිඳ යෝනියෙන් මිදී යාමට හැකි වෙයි. යෝනියෙන් මිදීම උපතින් මිදීමයි, සසරින් මිදීමයි. උපතක් නොමැති තැන ඇත්තේ නිර්වාණයයි. අයෝනි යනු උතුම් නිර්වාණයට නමකි.

අයෝනි යනු  වටිනා හෙළ බෞද්ධ නාමයකි. එහි ඇත්තේ බෞද්ධයන් මෙනෙහි කළ යුතු අදහසකි. එය උතුම් කමටහනක් වැනි ය.

එය දරුවාට මහත් කුසල රැකවරණයක් ගෙන දෙන්නා වූ නාමයකි. විදර්ශනාව ඇති කරන්නා වූ භාවනාවක් වැනි වූ නාමයකි.භාෂා නිරුක්තියෙන් පමණක් ගත් විට නාමයක ඇත්තේ අසම්පූර්ණ අදහසකි. නාමයක නිවැරැදි අර්ථය බැලීමට නම්, එහි පද නිරුක්තිය ගෙන බැලිය යුතු ය. 

- නලිඳු සැපත් -

Comments