සුපසන් රජුන්ගේ නම් ගොත් හා බැඳුණු පුවත් ...... 01

තුන්වන ධර්ම සංගායනාව සිදු කිරීමට අනුග්‍රහය දක්වා, නිර්මල බුදු දහම ලොව පුරා ව්‍යාප්ත කරලීමට දායක වූ, ධර්මාශෝක අධිරාජයාණන්ගේ නාමය, බෞද්ධ හදවත් තුළ නොමැකෙන ගෞරවණීය නාමයකි. මෙරටට බුදු දහම ගෙන වැඩි, අනුබුදු මිහිඳු මාහිමියන් සහ ජයසිරි මහ බෝධිය ගෙන වැඩි සංඝමිත්තා මහ තෙරණිය, එතුමන්ගේ දරු දෙදෙනා වීමද, බුදු දහම උදෙසා සිදු කළ අමිල මෙහෙවර නිසාද, ධර්මාශෝක නාමය අදද ලොව බබළයි.

බිංදුසාර රජුගේ පුත්‍රයා ලෙස මෞර්ය වංශයේ උරුමය ලබමින් උපන් එතුමන්, ස්වකීය දෙමාපියන්ට සහ සිය වංශයට සතුට උදා කළ නිසා, අශෝක (අ+ශෝක / ශෝක නොවන්නා) යන නම ලැබී ය. නමුත් කල්යත්ම තරුණ වියට එළැඹි අශෝක රජු, අධිරාජ්‍යෙයකු වීමේ අභිලාෂයෙන් අසල්වැසි රාජධානි ආක්‍රමණය කරමින් දිග්විජය පිළිවෙත අනුගමනය කළේ ය. එකල ඔහු අතින් මිනිසුන් දහස් ගණන් මැරුම් කෑවේ ය. රණකාමීත්වයෙන් වියරු වැටුණු අශෝක රජුට, චණ්ඩාශෝක (චණ්ඩ + අශෝක) යන නම මිනිසුන් විසින් පටබඳිනු ලැබූහ. නමුත් පසු කලෙක යුද්ධයෙන් තමන් ලද අත්දැකීම් ගැන කලකිරීමට හා පසුතැවීමට පත්ව සිටි අශෝක රජුට, සිය ඥාති පුත් නිග්‍රෝධ සාමනේරයාණන් වහන්සේ වෙතින් බුදු දහම ගැන අසන්නට ලැබිණ. එය ඔහුගේ ගැලවීමේ ප්‍රවේශය වූ අතර, ඉනික්බිති සිය චණ්ඩ ගති අත්හැර දැමූ අශෝක රජු, ධර්මයටම නැඹුරුව, ධර්ම ප්‍රචාරක කටයුතුවලට අනුග්‍රහය දෙමින් ක්‍රියාත්මක කළ ධර්ම විජය ප්‍රතිපත්තිය නිසා, ලෝකය තුළ එතුමන් ධාර්මික අධිරාජයෙකු ලෙස ප්‍රකට විය. එවිටඔහුගේ දැහැමි බව සලකා, ධර්මාශෝක (ධර්ම + අශෝක) යන නාමය මිනිසුන් විසින් පටබඳිනු ලැබූහ. අද පවා ලොව පුරා මිනිසුන්, ධර්මාශෝක නාමයට එක සේ ගරු බුහුමන් දක්වති.

හෙළදිව තුළ රජ කළ සුපසන් රජවරුන් අතරද අග්‍ර රජුන් යැයි සැලකිය හැකි දුටුගැමුණු මහරජතුමාගේ නාමය පිළිබඳවද, විවිධ රසවත් පුවත් පවතී. දුටුගැමුණු මහරජතුමාගේ පියතුමන් රුහුණු මාගම රජකළ කාවන්තිස්ස මහරජුයි. කාකයෙකු වන් කළු පැහැයකින් යුක්ත වූ නිසාම, කාකවන්තිස්ස යන නම් ලැබ, පසුව එය කාවන්තිස්ස ලෙස වහරට එක්වූ බව පොතපතෙහි දැක්වෙයි. ගාමිණි අභය ලෙස නම් කුමරු, ක්‍රමයෙන් යොවුන් විය පාතැබීමේදී තරමක් හිතුවක්කාර ගති ස්වභාව පළ කළේ ය. වරෙක සිය පියාට ස්ත්‍රී ආභරණ එවා අවමන් කිරීම, පිය රජුගේ අණට පිටුපෑම, රහසේ රජ වාසලින් පලා යාම වැනි විවිධ හේතු නිසා, ගාමිණ අභය, දුෂ්ඨ ගාමිණි අභය ලෙස මිනිසුන් අතර ප්‍රකට වූ බව ඇතැම් වංශ කතාවක කියයි.  මෙරට රජ කළ සියලු රජුන්ට ජ්‍යෙෂ්ඨ වූ බැවින්ද, පවුලේ ජ්‍යෙෂ්ඨයා වූ බැවින්ද දෙටු ගැමුණු යන නාමය ලැබී, පසුව එය දුටුගැමුණු බවට පෙරළුණු බව, තවත් මතයකට අනුව පැවසෙයි. කෙසේ වුවද, දුටුගැමුණු නිරිඳුගේ නාමය, ලක් ඉතිහාසයෙන් කිසිදා මකා දැමිය නොහැකි නාමයක් බව සත්‍යයකි.

- නලිඳු සැපත් -

Comments